විශ්‍රාම දිවියට එළඹෙන ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ සේවය යුද්ධ හමුදාධිපතිතුමන්ගේ පැසසුමට

වසර 33 කට අධික කීර්තිමත් යුද්ධ හමුදා සේවා කාලයක් සම්පූර්ණ කර නුදුරේදී විශ්‍රාම දිවියට එළඹෙන අධ්‍යක්‍ෂ ජෙනරාල් පිරිස් පරිපාලන මේජර් ජෙනරල් කේ.ජී.එම්.එන්. සෙනෙවිරත්න USP, 2026 පෙබරවාරි මස 05 දින යුද්ධ හමුදා මූලස්ථානයේදී යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් ලසන්ත රොද්‍රිගෝ RSP ctf-ndu psc IG හමුවිය.

විශ්‍රාම දිවියට එළඹෙන ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ විස්තරය පහත පරිදි වෙයි:

1992 නොවැම්බර් මස 08 දින කෙඩෙට් නිලධාරි පාඨමාලා අංක KDA 10 යටතේ ශ්‍රී ලංකා යුද්ධ හමුදා නිත්‍ය බලකාය වෙත බැඳුනු මේජර් ජෙනරල් කේ.ජී.එම්.එන්. සෙනෙවිරත්න USP රත්මලාන, ජෙනරාල් සර් ජෝන් කොතලාවල ආරක්‍ෂක විද්‍යාපීඨයෙන් සහ දියතලාව, ශ්‍රී ලංකා යුද්ධ හමුදා විද්‍යාපීඨයෙන් යුද්ධ හමුදා පුහුණුව සාර්ථකව නිම කිරීමෙන් අනතුරුව දෙවන ලුතිනන් නිලයට අධිකාරියට පත්ව වර්ෂ 1994 දෙසැම්බර් මස 14 දින ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකාය වෙත අනුයුක්ත කෙරිණි. යුද්ධ හමුදා සේවා කාලය තුළ ක්‍රමානුකූලව උසස්වීම් ලද මෙම ජ්‍යෙෂ්ඨ නිලධාරි 2025 දෙසැම්බර් මස 15 දින මේජර් ජෙනරල් නිලයට උසස්වීම් ලැබීය. 2026 පෙබරවාරි මස 11 දිනට වයස අවුරුදු 55 සම්පූර්ණ වීමත් සමඟ යුද්ධ හමුදා නිත්‍ය බලකායෙන් විශ්‍රාම ලබන එම ජ්‍යෙෂ්ඨ නිලධාරි විශ්‍රාම ලබන විට අධ්‍යක්‍ෂ ජෙනරාල් පිරිස් පරිපාලන ධූරය හෙබවීය.

විශ්‍රාම දිවියට පා තබන එම ජ්‍යෙෂ්ඨ නිලධාරි විසින් සිය කීර්තිමත් හමුදා දිවිය තුළදී 5 වන විමර්ෂන රෙජිමේන්තුව ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකායේ ඇල්ෆා බලඝණයේ රැලි භාර නිලධාරි, මේජර් ජෙනරල් එන්.ආර්. මාරඹේ (විශ්‍රාමික) RWP RSP USP psc ගේ අධි සහායක, 6 වන ආධාරක රෙජිමේන්තුව ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකායේ චාලි බලඝණයේ නිලධාරී අණදෙන, ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකා රෙජිමේන්තු මධ්‍යස්ථානයේ ප්‍රධාන මාණ්ඩලික නිලධාරි II, 8 වන ආධාරක රෙජිමේන්තුව ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකා මූලස්ථාන බලඝණයේ නිලධාරී අණදෙන, 8 වන ආධාරක රෙජිමේන්තුව ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකායේ දෙවන අණදෙන නිලධාරි, ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකා රෙජිමේන්තු මධ්‍යස්ථානයේ විධායක අධිකාරි, ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකා රෙජිමේන්තු මධ්‍යස්ථානයේ කාර්යයේ නියුක්ත මාණ්ඩලික නිලධාරි I (පරිපාලන), යුද්ධ හමුදා මූලස්ථානයේ යුද සේවා ලේකම් ශාඛාවේ මාණ්ඩලික නිලධාරි I (ස්වේච්ඡා), බටහිර සහරාවේ බහුවිධ ඒකාබද්ධ ස්ථායිතාවය ඇති කිරීමේ මෙහෙයුම් මූලස්ථානයේ හමුදා නිරීක්‍ෂක, ආරක්‍ෂක සේනා මූලස්ථානය - වන්නි ප්‍රධාන මාණ්ඩලික නිලධාරී I (ක්‍රියාන්විත), 6 වන ආධාරක රෙජිමේන්තුව ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකායේ අණදෙන නිලධාරී, 3 වන රෙජිමේන්තුව ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකායේ අණදෙන නිලධාරී.

එමෙන්ම, මෙම ජ්‍යෙෂ්ඨ නිලධාරි විසින් ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකා රෙජිමේන්තු මධ්‍යස්ථානයේ මාණ්ඩලික නිලධාරී I (පාලන), 66 පාබල සේනාංක මූලස්ථානයේ ප්‍රධාන මාණ්ඩලික නිලධාරී I (ක්‍රියාන්විත), බහුකාර්ය සංවර්ධන කාර්ය සාධක බලකායේ පුහුණු අධ්‍යක්‍ෂ, ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකා රෙජිමේන්තු මධ්‍යස්ථානයේ නියෝජ්‍ය මධ්‍යස්ථාන සේනාවිධායක, 661 පාබල බලසේනාවේ බලසේනාධිපති, 121 පාබල බලසේනාවේ බලසේනාධිපති, ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකායේ රෙජිමේන්තු මධ්‍යස්ථානයේ මධ්‍යස්ථාන සේනාවිධායක, යුද්ධ හමුදා මූලස්ථානයේ අධ්‍යක්‍ෂ ජෙනරාල් පිරිස් පරිපාලන වැනි ධූරයන් ද හොබවන ලදී.

එසේම, යුද්ධ හමුදා සේවා කාලය තුළදී දැක්වූ කැපවීම සහ නිර්භීතකම අගයමින් එම ජ්‍යෙෂ්ඨ නිලධාරි උත්තම සේවා පදක්කමෙන් පිදුම් ලැබීය.

මෙම ජ්‍යෙෂ්ඨ නිලධාරි විසින් සිය යුද්ධ හමුදා සේවා කාලය තුළදී නිරීක්‍ෂක සහ මාණ්ඩලික නිලධාරීන්ගේ පාඨමාලාව, එක්සත් ජාතීන්ගේ භඨකාර්ය සම්පාදන නිලධාරීන්ගේ පාඨමාලාව, මානව හිමිකම් උපදේශක පුහුණු පාඨමාලාව සහ සන්නද්ධ ගැටුම් නීති උපදේශක පුහුණු පාඨමාලාව වැනි දේශීය පාඨමාලාවන් රැසක් ද හදාරන ලදී.

එසේම මෙම ජ්‍යෙෂ්ඨ නිලධාරි විසින් ඉන්දියාවේ තරුණ නිලධාරී (සන්නාහ සන්නද්ධ) පාඨමාලාව, ඉන්දියාවේ මෝටර් යාන්ත්‍රික උපදේශක පාඨමාලාව, පකිස්ථානයේ කනිෂ්ඨ මාණ්ඩලික (මධ්‍යම වෘත්තීය සමඟ සම්බන්ධ) පාඨමාලාව, ඉන්දියාවේ සංග්‍රාමික කණ්ඩායම් අණදෙන නිලධාරීන්ගේ පාඨමාලාව වැනි විදේශීය පාඨමාලාවන් රැසක් ද හදාරන ලදී.

තවද, එම ජ්‍යෙෂ්ඨ නිලධාරි රත්මලාන ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්‍ෂක විද්‍යාපීඨයෙන් කලා උපාධියක් (ආරක්‍ෂක අධ්‍යයන) සහ කොළඹ විශ්ව විද්‍යාලයෙන් ගැටුම් හා සාම අධ්‍යයනය පිළිබඳ ශාස්ත්‍රපති උපාධියක් ද හිමි කර ගෙන ඇත.