ශ්‍රී ලංකා යුද්ධ හමුදා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු රෙජිමේන්තුවේ මැදිහත්වීමෙන් රජයට රුපියල් මිලියන 8.5 ක ඉතිරියක්

යුද්ධ හමුදාවේ භාවිත වන ජෛව වෛද්‍ය උපකරණ ශ්‍රී ලංකා යුද්ධ හමුදා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු රෙජිමේන්තුව විසින් නඩත්තු කිරීම සහ නවෝත්පාදනය කිරීම මගින් යුද්ධ හමුදාවේ මෙහෙයුම් සූදානම අඛණ්ඩව සහතික කරනු ලබයි.

දේශීය වෙළඳපොළේ ඇස්තමේන්තුගත වටිනාකම රුපියල් මිලියන 10 කට ආසන්න වූ ජෛව වෛද්‍ය උපකරණ තොගයක්, රුපියල් මිලියන 1.5 ක් වැනි අවම පිරිවැයකින් යුත් අමතර කොටස් භාවිතා කරමින් සාර්ථකව අලුත්වැඩියා කිරීමට ශ්‍රී ලංකා යුද්ධ හමුදා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු රෙජිමේන්තුවේ ජෛව වෛද්‍ය වැඩපොළේ භටපිරිස් සමත් වන ලදී. රටේ පවතින ආර්ථික අභියෝගයන්ට මුහුණ දෙන මොහොතක, මහජන මුදල් විශාල ප්‍රමාණයක් ඉතිරි කරමින් සහ යුද්ධ හමුදාවේ සුවිශේෂී වෘත්තීය නිපුණතාවය මැනවින් ඉස්මතු කරමින්, එම භටපිරිස් ස්වේච්ඡාවෙන්ම මෙම වෛද්‍ය උපකරණ අලුත්වැඩියා කටයුතු සිදු කිරීමට සමත් විය.

ශ්‍රී ලංකා යුද්ධ හමුදාවට සිදු කළ ආදර්ශමත් සේවය සහ කැපවීම ඇගයීමට ලක් කරමින් විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු අධ්‍යක්ෂ විසින් භටපිරිස් වෙත සහතික ප්‍රදානය කරන ලදී.