ශ්‍රී ලංකා යුද්ධ හමුදා නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධාන යුද්ධ හමුදා යුධෝපකරණ කර්මාන්ත ශාලාවේ නිල සංචාරයක

ශ්‍රී ලංකා යුද්ධ හමුදා නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධාන සහ ශ්‍රී ලංකා පාබල හමුදාවේ රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරල් වයි.ඒ.බී.එම් යහම්පත් RWP RSP ndu psc 2025 අගෝස්තු මස 25 දින යුද්ධ හමුදා යුධෝපකරණ කර්මාන්ත ශාලාවේ නිල සංචාරයක නිරත විය.

මෙම අවස්ථාව සඳහා පැමිණි යුද්ධ හමුදා නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධාන වෙත භටපිරිස් විසින් හමුදා සම්ප්‍රදායානුකූල මුරය පසුකරගෙන යාමේ ගෞරවාචාරය පුදකිරීමෙන් අනතුරුව එම කර්මාන්ත ශාලාවේ සේනාවිධායක විසින් එම ජ්‍යෙෂ්ඨ නිලධාරි පිළිගන්නා ලදී. පසුව, සංචාරයේ නිරත ජ්‍යෙෂ්ඨ නිලධාරි මෙම අවස්ථාව සනිටුහන් කරමින් එම කර්මාන්ත ශාලා පරිශ්‍රයේ පැළයක් රෝපණය කර එම කර්මාන්ත ශාලාව යටතේ සේවයේ නියුතු නිලධාරින් සහ කාර්ය මණ්ඩලය සමඟ සමූහ ඡායාරූපයකට ද සහභාගි විය.

මෙම වැඩසටහනේ ආරම්භය සනිටුහන් කරමින් එම කර්මාන්ත ශාලාවේ සේනාවිධායක විසින් එම කර්මාන්ත ශාලාවේ තාක්‍ෂණික හැකියාව, ආරම්භ කර ඇති සංවර්ධන වැඩසටහන් සහ යුද්ධ හමුදාවේ ක්‍රියාන්විත සූදානම වැඩිදියුණු කිරීම සඳහා දක්වා ඇති දායකත්වය පිළිබඳව සවිස්තරාත්මක පැහැදිළි කිරීමක් සිදුකරන ලදී.

ඉන් අනතුරුව, නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධාන විසින් එම කර්මාන්ත ශාලාවේ නිෂ්පාදන ක්‍රියාවලිය නිරීක්‍ෂණය කළ අතර එහිදී, එම ජ්‍යෙෂ්ඨ නිලධාරි විසින් ප්‍රමිතීන්ට අනුව ගුණාත්මක භාවයෙන් යුතුව සිදුකරනු ලබන නිෂ්පාදන ක්‍රියාවලියන් සහ නවෝත්පාදන ව්‍යාපෘතීන් ද නිරීක්‍ෂණය කරන ලදී.

සංචාරයේ සමාප්තිය සනිටුහන් කරමින් යුද්ධ හමුදා නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධාන එම කර්මාන්ත ශාලාවේ සේවයේ නියුතු සියලු නිලයන් ආමන්ත්‍රණය කරමින් විකාශනය වන ආරක්‍ෂක අභියෝගවලට මුහුණදීමේදී අඛණ්ඩ පුහුණුව, කුසලතා වැඩිදියුණු කිරීම සහ වෘත්තීය සංවර්ධනයේ තීරණාත්මක වැදගත්කම පිළිබඳව අවධාරණය කළේය. ශ්‍රී ලංකා යුද්ධ හමුදාව සතු ක්‍රියාන්විත හැකියාවන් ශක්තිමත් කිරීම සඳහා එම කර්මාන්ත ශාලාවේ සේවයේ නියුතු සාමාජිකයන්ගේ නොසැලෙන කැපවීම, තාක්‍ෂණික විශේෂඥතාවය සහ ඔවුන්ගේ අමිල දායකත්වය ද එම ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ ඇගයීමට ලක්විය.

එම කර්මාන්ත ශාලා පරිශ්‍රයෙන් නික්ම යාමට ප්‍රථම යුද්ධ හමුදා නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධාන විශේෂ අමුත්තන් සඳහා වූ පොතේ සමරු සටහනක් ද තැබීය.