ශ්‍රී ලංකා යුද්ධ හමුදා කෘෂිකර්ම හා පශු සම්පත් බලකාය සිය 5 වන සංවත්සරය අභිමානවත් අයුරින් සමරයි

ශ්‍රී ලංකා යුද්ධ හමුදා කෘෂිකර්ම හා පශු සම්පත් බලකාය සිය 5 වන සංවත්සරය 2026 ජනවාරි මස 04 වන දින කරන්දෙණිය, එම බලකා රෙජිමේන්තු මධ්‍යස්ථානයේදී සමරනු ලැබීය.

කඳවුරු පරිශ්‍රය වෙත පැමිණි මූල්‍ය කළමනාකරණ අධ්‍යක්‍ෂ ජෙනරාල් සහ යුද්ධ හමුදා කෘෂිකර්ම හා පශු සම්පත් බලකායේ කර්නල් සේනාවිධායක මේජර් ජෙනරල් කේ.ඩී.එම්.එල් සමරදිවාකර RWP RSP ndc psc වෙත හටපිරිස් විසින් හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු මුරයේ සහ සම්මාන මුරයේ ගෞරවාචාරයන් පිරිනමන ලදී. පසුව කර්නල් සේනාවිධායක භටපිරිස් අමතා සමූහ ඡායාරූපයකට පෙනී සිටියේය. උත්සවයේ කටයුතු අවසන් කරමින් සියළු නිල දිවා භෝජන සංග්‍රහයක් පවත්වා, අන්තර් බලඇණි ක්‍රිකට් තරඟාවලියේ දක්‍ෂතා දැක්වූ ක්‍රිකට් කණ්ඩායමට කර්නල් සේනාවිධායක අභියෝගතා කුසලාන පිරිනමා පසුව සංගීත සැදෑවක්ද පවත්වනු ලැබීය.

සැමරුම් උත්සවයට සමගාවීම, 2026 ජනවාරි මස 03 වන දින යුද්ධ හමුදා කෘෂිකර්ම හා පශු සම්පත් බලකා සේවා වනිතා ශාඛාවේ සභාපතිනී නිලංගනී සමරදිවාකර මහත්මියගේ මඟපෙන්වීම යටතේ දිට්වා සුළි කුණාටුවෙන් පීඩාවට පත් එම බලකායේ සාමාජිකයන් වෙත රුපියල් 8,000 ක පමණ වටිනා වියළි ආහාර සලාක පාර්සල් බෙදා දෙනු ලැබීය.

එමෙන්ම, 2026 ජනවාරි මස 02 වන දින සර්ව රාත්‍රික පිරිත් සජ්ඣායනයක් පවත්වා පසුදින මහා සංඝරත්නය උදෙසා දානමය පිංකමක් ද පවත්වන ලද අතර, එහිදී එම බලකායේ සියලුම නිලධාරීන්ට සහ සෙසුනිලයන්ට ආශීර්වාද එක්කරන ලදී.