ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු රෙජිමේන්තුව විසින් යුද්ධ හමුදා වාහන සමූහයක් ප්‍රතිසංස්කරණය කරයි

යුද්ධ හමුදාධිපතිතුමන්ගේ මඟපෙන්වීම යටතේ ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු රෙජිමේන්තුවේ දක්ෂ කාර්මික ශිල්පීන් විසින් වාහන රැසක් නැවත ධාවනය කළ හැකි තත්ත්වයට ප්‍රතිසංස්කරණය කරන ලදී. විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු අධ්‍යක්‍ෂ මණ්ඩලයේ අධීක්ෂණය යටතේ ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු මූලික වැඩපොළවල්හීදී මෙම අලුත්වැඩියා කටයුතු සිදු කිරීම හේතුවෙන් නව වාහන මිලදී ගැනීම් සඳහා වැය වීමට තිබූ විශාල මුදලක් යුද්ධ හමුදාවට ඉතිරි කර ගැනීමට හැකි වීය.

යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් ලසන්ත රොද්‍රිගෝ RSP ctf-ndu psc IG විසින් 2025 ඔක්තෝබර් මස 24 දින යුද්ධ හමුදා මූලස්ථානයේ පැවති උත්සවයකදී මෙම ප්‍රතිසංස්කරණය කරන ලද වාහන අදාළ රෙජිමේන්තු නියෝජිතයන් වෙත භාර දෙන ලදී.

ප්‍රතිසංස්කරණය කරන ලද වාහන අතරට ටාටා 1313 සහ 1613 ට්‍රක් රථ 26 ක්, ටාටා 709 ට්‍රක් රථ 15ක්, බස් රථ 14ක්, යුනිකෝන් ජල බවුසර් 1ක්, යුනිබෆල් 1 ක්, ගලි බවුසර් 2 ක්, කැබ් රථ 5 ක්, ගිලන් රථ 6 ක්, වෑන් රථ 4 ක්, කැන්ටර් වර්ගයේ ලොරි 1ක් සහ මෝටර් රථ 1ක් ඇතුළත් විය.

මීට අමතරව, ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාවට කාලතුවක්කු ඇදගෙන යාම සඳහා භාවිතා කරන ට්‍රක් රථ (අයන්හෝස් )10 ක් සහ විශේෂ බලකාය වෙතට DRZ 400 යතුරුපැදි 8 ක් අලුත් වැඩියා කිරීමෙන් අනතුරුව භාර දෙන ලදී.

මෙම අවස්ථාවට යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධාන මේජර් ජෙනරල් ඩී.කේ.එස්.කේ. දොලගේ USP nps psc, යුද්ධ හමුදා නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධාන මේජර් ජෙනරල් වයි.ඒ.බී.එම් යහම්පත් RWP RSP ndu psc, ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනාවේ සේනාවිධායක මේජර් ජෙනරල් කේ.වී.එන්.පී ප්‍රේමරත්න RSP USP nps psc, ජ්‍යෙෂ්ඨ නිලධාරින්, නිලධාරින් සහ සෙසු නිලයන් පිරිසක් සහභාගී වූහ.