රුවන්වැලි සෑ රදුන් අභියස පැවැත්වූ අධිෂ්ඨාන පූජාවෙන් පාද යාත්‍රාව නිමාවට

78 වන නිදහස් දිනයට සමගාමීව 5 බලඇණය ශ්‍රී ලංකා යුද්ධ හමුදා වෛද්‍ය බලකායේ (උපා - කාර්මික) කපිතන් බී.ඒ.ඩී. සමන් දේවප්‍රිය USP 2026 පෙබරවාරි මස 05 දින පාද යාත්‍රවක් පැවැත්වීය.

හබරණ ප්‍රදේශයේ පිහිටි 5 බලඇණිය ශ්‍රී ලංකා යුද්ධ හමුදා වෛද්‍ය බලකායෙන් ආරම්භ වූ මෙම පාද යාත්‍රාව, අනුරාධපුර ඓතිහාසික පූජනීය ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ දක්වා ගමන් කළේය.

1972 ජනවාරි මස 24 දින උපත ලැබූ කපිතන් දේවප්‍රිය USP, සිය ප්‍රාථමික හා ද්විතීයික අධ්‍යාපනය නිම කිරීමෙන් පසු 1996 මැයි මස 08 දින ආධුනික සෙබළෙකු ලෙස ශ්‍රී ලංකා යුද්ධ හමුදා වෛද්‍ය බලකායට බැඳුණි. අනුරාධපුර යුද්ධ හමුදා හෙද විදුහලෙන් වෘත්තීය පුහුණුව ලැබූ ඒ මහතා, පසුව දිවයින පුරා පිහිටි හමුදා ආයතන රැසක හෙද නිලධාරියෙකු ලෙස කැපවූ සේවාවක් ඉටු කළේය. වසර 31ක ගෞරවනීය හා ආදර්ශමත් හමුදා සේවා කාලයක් සම්පූර්ණ කර ඇති එම නිලධාරි, වයස අවුරුදු 55 සම්පූර්ණ වීමෙන් පසු 2027 ජනවාරි මස 03 දින ශ්‍රී ලංකා යුද්ධ හමුදාවෙන් විශ්‍රාම ගැනීමට නියමිතය.

මතෘභූමියේ ස්වෛරීභාවය වෙනුවෙන් ජීවිත පරිත්‍යාග කළ අභීත රණවිරුවන්ට පින් අනුමෝදන් කිරීම, ආබාධිත රණවිරුවන්ට ආශීර්වාද ප්‍රාර්ථනා කිරීම, 'දිට්වා' සුළි කුණාටුව හේතුවෙන් ජීවිතක්ෂයට පත් වූවන්ට පින් පැමිණවීම සහ එම ස්වභාවික ව්‍යසනයෙන් පීඩාවට පත් වූ සියලු දෙනාට ආශීර්වාදය එක් කිරීම අරමුණ ඇතිව මෙම පාද යාත්‍රාව සංවිධානය කරන ලදී.

මෙම ආධ්‍යාත්මික වශයෙන් වැදගත් වූ ප්‍රයත්නය නිමාවට පත් කරමින්, ඓතිහාසික රුවන්වැලි මහා සෑ රදුන් අභියස පවත්වන ලද අධිෂ්ඨාන පූජාවකින් අනතුරුව මෙම පාද යාත්‍රාව සාර්ථකව අවසන් විය.