28th January 2026
34 වන ආරක්‍ෂක සේනා ආඥාපති - යාපනය වශයෙන් මේජර් ජෙනරල් කේ.ටී.පී ද සිල්වා RSP ndu psc 2026 ජනවාරි මස 27 වන දින සිය ධූරයේ රාජකාරි භාර ගනු ලැබීය.
ධූරයේ රාජකාරින් භාරගැනීමේ උත්සවයේ කටයුතු ආරම්භ කරමින් නව ආරක්‍ෂක සේනා ආඥාපති - යාපනය විසින් පලාලි රණවිරු ස්මාරකය අභියසදී රට වෙනුවෙන් දිවිපිදූ රණවිරුවන් සිහිපත් කරමින් පුෂ්පෝපහාර දැක්වීය. පසුව, එම ජ්‍යෙෂ්ඨ නිලධාරි වෙත 11 වන බලඇණිය ශ්‍රී ලංකා පාබල හමුදාවේ භටපිරිස් විසින් හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු මුරයේ සහ සම්මාන මුරයේ ගෞරවාචාරයන් පිරිනමන ලදී. ඉන් අනතුරුව, සර්ව ආගමික වතාවත් මධ්‍යයේ සංකේතාත්මකව නිල ලේඛනයකට අත්සන් තබමින් සිය ධූරයේ රාජකාරි භාර ගනු ලැබීය.
මෙම අවස්ථාව සනිටුහන් කරමින් ආරක්‍ෂක සේනා ආඥාපති - යාපනය විසින් කඳවුරු පරිශ්‍රයේ පැළයක් රෝපණය කර භටපිරිස් සමඟින් සමූහ ඡායාරූපයකට පෙනී සිටින ලදී. උත්සවයේ කටයුතු අවසන් කරමින් එම ජ්‍යෙෂ්ඨ නිලධාරි සියලු නිලයන් අමතමින්, ශ්‍රී ලංකාවේ දිගුකාලීන ස්ථාවරත්වය සහ සාමය පවත්වා ගැනීම සඳහා යාපනය අර්ධද්වීපයේ උපායමාර්ගික වැදගත්කම සහ උතුරු පළාතේ සංස්කෘතිය හඳුනා ගැනීමේ වැදගත්කම පිළිබඳව පෙන්වා දුන්නේය.
මෙම අවස්ථාවන් සඳහා ආරක්‍ෂක සේනා මූලස්ථානය - යාපනය බල ප්‍රදේශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ සෙසුනිලයන් සහභාගී වූහ.