26th February 2026
දියතලාව ශ්‍රී ලංකා යුද්ධ හමුදා විද්‍යාපීඨයේ පුහුණුව ලබන කැඩෙට් නිලධාරීන් වෙනුවෙන් බෝ නොවන රෝග වැළැක්වීම පිළිබඳ දැනුවත් කිරීමේ දේශනයක්, ‘නිරෝගී හමුදාවක් - නිරෝගී දැයක්’ සම්බන්ධීකරණ කාර්යාලය මඟින් 2026 පෙබරවාරි මස 25 දින එම විද්‍යාපීඨ ශ්‍රවණාගාරයේදී පවත්වන ලදී.
මෙම දැනුවත් කිරීමේ වැඩසටහන අතරතුරදී ජ්‍යෙෂ්ඨ වෛද්‍ය උපදේශක බ්‍රිගේඩියර් ඒ.එස්.එම්. විජේවර්ධන (විශ්‍රාමික) USP විසින් “බෝ නොවන රෝග වැළැක්වීම” පිළිබඳ දේශනයක් පවත්වන ලදී. ජ්‍යෙෂ්ඨ මනෝ වෛද්‍ය බ්‍රිගේඩියර් ආර්.එම්.එම්. මොණරාගල USP විසින් අහිතකර පුරුදු දුරලීම සහ යහපත් ජීවන රටාවක් ඇති කර ගැනීම පිළිබඳ දේශනයක් මෙහෙයවන ලදී.
ප්‍රජා සෞඛ්‍ය විශේෂඥ මේජර් පී.ඒ.එස්.ඩී. ජෝතිපාල විසින් බෝ නොවන රෝග වැළැක්වීම සඳහා වූ සෞඛ්‍ය ප්‍රවර්ධන උපායමාර්ග පිළිබඳව කරුණු පැහැදිලි කළ අතර, ආහාර හා පෝෂණවේදී මේජර් ඒ.සී.කේ. උඩුගම ආහාර සහ පෝෂණය පිළිබඳ දේශනයක් මෙහෙයවන ලදී. මීට අමතරව, ශාරීරික අභ්‍යාස උපදේශක මාණ්ඩලික සැරයන් ටී.එම්.ජී. ප්‍රියදර්ශන විසින් විධිමත් ශාරීරික අභ්‍යාස පිළිබඳව හඳුන්වා දෙන ලදී.
මෙම අවස්ථාවට ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ කැඩෙට් නිලධාරීන් සහභාගී වූහ.