ක්ෂණික ප්‍රතික්‍රියා යතුරුපැදි කණ්ඩායම් සඳහා පුහුණු වැඩමුළුවක්

ආරක්ෂක සූදානම ඉහළ නැංවීමේ අරමුණින් අදියර තුනක් යටතේ ක්ෂණික ප්‍රතික්‍රියා යතුරුපැදි කණ්ඩායම් සඳහා පවත්වනු ලබන වැඩසටහනේ ආරම්භක අදියර වන සති දෙකක පුහුණු වැඩසටහන 2025 නොවැම්බර් මස 24 දින පනලුවෙහිදී ආරම්භ කරන ලදී.

ආරක්ෂක සේනා ආඥාපති - බටහිර මේජර් ජෙනරල් යූ.කේ.ඩී.ඩී.පී උඩුගම RWP RSP USP ndc psc, විසින් සමාරම්භක දේශනය පවත්වන ලද අතර, එහිදී වෙනස් වන මෙහෙයුම් අවශ්‍යතා සපුරාලීම සඳහා අඛණ්ඩ පුහුණුවේ ඇති වැදගත්කම අවධාරණය කරන ලදී.

ආරක්ෂක සේනා මූලස්ථානය - බටහිර යටතේ ස්ථාපිත එකකයන්හි කාන්තා සෙබළියන් හය දෙනෙකු ඇතුළු සාමාජිකයන් පහලොස් දෙනෙකුගෙන් සමන්විත ක්ෂණික ප්‍රතික්‍රියා යතුරුපැදි කණ්ඩායම් තුනක් මෙම පළමු අදියරට සහභාගි විය. මෙහෙයුම් අත්දැකීම් සහිත සුදුසුකම් ලත් උපදේශකවරුන් හය දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් විසින් මෙම පුහුණු වැඩසටහන සඳහා දේශන මඟින් න්‍යායාත්මක අවබෝධය මෙන්ම අවශ්‍ය ප්‍රායෝගික පුහුණුව සහ ප්‍රායෝගික නිදර්ශණ ඉදිරිපත් කිරීම සිදුකරනු ලබයි.