ඉංජිනේරු සේවා බලකායේ නව බලකාධිපති ධූරයේ රාජකාරි අරඹයි

ඉංජිනේරු සේවා බලකායේ 18 වන බලකාධිපති ලෙස බ්‍රිගේඩියර් එන්.ඩබ්ලිව්.පී.එස්.එම්. පෙරේරා 2026 අප්‍රේල් මස 06 දින එම බලකා රෙජිමේන්තු මූලස්ථානයේදී රාජකාරි ආරම්භ කරන ලදී.

ප්‍රධාන දොරටුව වෙත පැමිණි, නව බලකාධිපති වෙත හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු මුරයේ ගෞරවාචාරය පිරිනැමුණු අතර, ඉන් පසුව බලකායේ අභිමානය වෙනුවෙන් දිවි පිදූ වීරෝදාර රණවිරුවන් සිහිපත් කරමින් රණවිරු ස්මාරකය අභියස පුෂ්පෝපහාර දැක්වීම සහ නව බලකාධිපති වෙත හමුදා සම්ප්‍රදායානුකූල සම්මාන මුරයේ ගෞරවාචාරය පිරිනැමීම සිදු කරන ලදී.

මෙම අවස්ථාව සනිටුහන් කරමින් බලකාධිපති එම බලකායේ නිලධාරීන් සමඟ සමූහ ඡායාරූපයකට පෙනී සිටිම එම කඳවුරු භූමියේ සමරු පැළයක් ද රෝපණය කළේය. මෙම අවස්ථාව සඳහා ජ්‍යෙෂ්ඨ නිලධාරින්, නිලධාරින් සහ සෙසු නිලයන් පිරිසක් සහභාගී වූහ.