ධූරයෙන් නික්ම ගිය බලකාධිපති වෙත ශ්‍රී ලංකා ඉංජිනේරු බලකායේ ගෞරවාචාරය

ධූරයෙන් නික්ම ගිය ශ්‍රී ලංකා ඉංජිනේරු බලකායේ බලකාධිපති මේජර් ජෙනරල් ඒ.එච්.එල්.ජී අමරපාල RWP RSP ndc psc වෙත හමුදා සම්ප්‍රදායානුකූලව ගෞරවාචාර පුදකිරීමේ උත්සවයක් 2025 ජුනි මස 22 දින පනාගොඩ පිහිටි එම රෙජිමේන්තු මධ්‍යස්ථානයේදී පැවැත්විණි.

රෙජිමේන්තු මධ්‍යස්ථානය වෙත පැමිණි ජ්‍යෙෂ්ඨ නිලධාරි එම රෙජිමේන්තුවේ මධ්‍යස්ථාන සේනාවිධායක විසින් උණුසුම් අයුරින් පිළිගැනීමෙන් අනතුරුව භටපිරිස් විසින් මේජර් ජෙනරල් ඒ.එච්.එල්.ජී අමරපාල RWP RSP ndc psc වෙත හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු මුරයේ ගෞරවාචාරය පුදකරන ලදී. පසුව, එම ජ්‍යෙෂ්ඨ නිලධාරි රණවිරු ස්මාරකය අභියසදී දිවංගත රණවිරුවන් වෙත පුෂ්පෝපහාර පුදකළේය. ඉන් අනතුරුව, එම රෙජිමේන්තු සරඹ භූමියේදී හමුදා සම්ප්‍රදායානුකූලව සම්මාන පෙළපාලියක් ද පැවැත්විණි. පසුව, එම රෙජිමේන්තු සාමාජිකයන් සමඟින් විශ්‍රාම දිවියට පා තබන ජ්‍යෙෂ්ඨ නිලධාරි සමූහ ඡායාරූප කිහිපයකට ද පෙනීසිටියේය. අනතුරුව, පැවති සියලු නිල තේ පැන් සංග්‍රහය අතරතුරදී, එම රෙජිමේන්තු සාමාජිකයන් විශ්‍රාම ලබන ජ්‍යෙෂ්ඨ නිලධාරි වෙත සිය සුබපැතුම් පිරිනැමූහ.

උත්සවයේ සමාප්තිය සනිටුහන් කරමින් එම රෙජිමේන්තු නිලධාරින් සහ ඔවුන්ගේ භාර්යාවන් සමඟින් සමුගැනීමේ රාත්‍රී භෝජන සංග්‍රහයක් පැවැත්විණි. එහිදී, ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනාවේ සේනාවිධායක මේජර් ජෙනරල් ඩී.කේ.එස්.කේ දොලගේ USP nps psc විසින් සමුගැනීමේ දේශනයක් පැවැත්වීය. පසුව, භටපිරිස් ආමන්ත්‍රණය කළ විශ්‍රාම ලබන ජ්‍යෙෂ්ඨ නිලධාරි සිය වෘත්තීය දිවිය තුළදී දැක්වූ සහයෝගය, පක්‍ෂපාතිත්වය සහ මිත්‍රත්වය වෙනුවෙන් සියලුම නිලධාරින් සහ සෙසුනිලයන් වෙත සිය කෘතඥතාවය පළකළ අතර ජ්‍යෙෂ්ඨ නිලධාරින්, සමකාලීනයන් සහ එම ජ්‍යෙෂ්ඨ නිලධාරි යටතේ සේවය කළ අනෙකුත් සාමාජිකයන් වෙතින් ලද මඟපෙන්වීම සහ දිරිගැන්වීම වෙනුවෙන් ද සිය කෘතවේදීත්වය පිරිනැමිණි.