60 වන ශ්‍රී ලංකා යුද්ධ හමුදා මලල ක්‍රීඩා ශූරතාවලිය සාර්ථකව අවසන්

60 වන ශ්‍රී ලංකා යුද්ධ හමුදා මලල ක්‍රීඩා ශූරතාවලිය 2025 අගෝස්තු මස 20 දින දියගම මහින්ද රාජපක්‍ෂ ක්‍රීඩාංගණයේදී අවසන් විය.

මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් ලසන්ත රොද්‍රිගෝ RSP ctf-ndu psc IG සහභා‍ගි විය.

උත්සව අවස්ථාවට පැමිණි යුද්ධ හමුදාධිපතිතුමන්ව යුද්ධ හමුදා මලල ක්‍රීඩා කමිටුවේ සභාපති මේජර් ජෙනරල් බී.ජී.එස් ප්‍රනාන්දු USP Hdmc psc විසින් පිළිගන්නා ලදී. උත්සවයේ කටයුතු ආරම්භ කිරීමට පෙර යුද්ධ හමුදා මලල ක්‍රීඩා කමිටුවේ සභාපති විසින් පිළිගැනීමේ කතාව සිදුකර රැස්ව සිටි පිරිස එම අවස්ථාවට පිළිගන්නා ලදී.

සමාප්ති උත්සවය අතරතුර මීටර් 100 පිරිමි, මීටර් 100 කාන්තා, මීටර් 1500 පිරිමි, මීටර් 4x400 පිරිමි සහ මීටර් 4x400 කාන්තා ඇතුළු අවසන් තරඟ ඉසව් මාලාවක් පැවැත්විණි.

මෙම තරඟාවලියේදී යුද්ධ හමුදා ක්‍රීඩක ක්‍රීඩිකාවන් කැපී පෙනෙන දක්‍ෂතා දක්වමින් නව ජාතික වාර්තාවක්, නව යුද්ධ හමුදා මලල ක්‍රීඩා වාර්තාවක් සහ නව තරඟ වාර්තා 11ක් හිමිකර ගත් අතර, පිරිමි රිටි පැනීමේ ඉසව්වෙන් ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු බලකායේ ලාන්ස් කෝප්‍රල් කේ. පුවිතරන් මීටර් 5.18 උසක් සම්පූර්ණ කරමින් ජාතික වාර්තාව පිහිටුවීය.

එහිදී, ඉසව් කිහිපයකම නව තරඟ වාර්තා පිහිටුවන ලදී: පිරිමි අංශය - මීටර් 100 තත්පර 10.34, මීටර් 800 තත්පර 1:48.87, මීටර් 400 කඩුලු පැනීම තත්පර 51.36, රිටි පැනීම මීටර් 5.18, හෙල්ල විසි කිරීම මීටර් 79.49 ක් සහ දස ප්‍රයාම ඉසව්ව මුළු ලකුණු 7044. කාන්තා අංශය - මීටර් 400 තත්පර 52.86, දුර පැනීම මීටර් 6.20, මීටර් 4×100 සහය දිවීමේ තත්පර 46.82, මීටර් 4×800 සහය දිවීමේ තත්පර 09:05.50 සහ මීටර් 4×1500 සහය දිවීමේ තත්පර 19:24.78 ක් වශයෙන් නව වාර්තා පිහිටුවන ලදී.

තරඟාවලිය අවසානයේදී, යුද්ධ හමුදාධිපතිතුමන් ජ්‍යෙෂ්ඨ නිලධාරින් සමඟින් එක්ව ක්‍රීඩක ක්‍රීඩිකාවන් වෙත පදක්කම් සහ කුසලාන ප්‍රදානය කළහ.

පහත සඳහන් ජයග්‍රාහකයින්ට විශේෂ කුසලාන පිරිනමන ලදී:

අන්තර් රෙජිමේන්තු අභියෝගතා කුසලාන සමස්ථ ශූරතා රෙජිමේන්තුව (කාන්තා) - ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකාය (ලකුණු 257)

අන්තර් රෙජිමේන්තු අභියෝගතා කුසලාන සමස්ථ අනුශූරතා රෙජිමේන්තුව (කාන්තා) - ශ්‍රී ලංකා යුද්ධ හමුදා සේවා බලකාය (ලකුණු 212)

අන්තර් රෙජිමේන්තු අභියෝගතා කුසලාන සමස්ථ ශූරතා රෙජිමේන්තුව (පිරිමි) - ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු බලකාය (ලකුණු 272)

අන්තර් රෙජිමේන්තු අභියෝගතා කුසලාන සමස්ථ අනුශූරතා රෙජිමේන්තුව (පිරිමි) - ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාව (ලකුණු 198)

මෙම අවස්ථාව නැරඹීමට ජ්‍යෙෂ්ඨ නිලධාරින්, නිලධාරින්, සෙසුනිලයන් සහ නරඹන්නන් විශාල පිරිසක් එක්වූහ.