31st July 2025
ශ්‍රී ලංකා යුද්ධ හමුදා අත්පන්දු කමිටුව විසින් 10 වරටත් සංවිධානය කරන ලද 10 වන යුද්ධ හමුදා අන්තර් රෙජිමේන්තු අත්පන්දු තරඟාවලිය පනාගොඩ, යුද්ධ හමුදා ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ රෙජිමේන්තු 12 නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 192 දෙනෙකුගේ සහභාගිත්වයෙන් 2025 ජූලි මස 24 සිට 27 දින දක්වා පැවැත්විය.
අත්පන්දු තරඟාවලියේ අවසන් තරඟය 2025 ජූලි මස 27 දින පවත්වන ලද අතර, එම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගි වූ 56 පාබල සේනාංකයේ සේනාංකාධිපති, කෘෂිකර්ම හා පශු සම්පත් බලකායේ බලකාධිපති සහ යුද්ධ හමුදා අත්පන්දු කමිටුවේ සභාපති මේජර් ජෙනරල් කේ.එන්.ඩි. කරුණාපාල RSP ndu සමඟින් ගෞරවනීය ආරාධිතයෙකු ලෙස ශ්‍රී ලංකා අත්පන්දු සංගමයේ සභාපති උපාලි රාජපක්‍ෂ මහතා ද සහභාගි විය.
කාන්තා අවසන් තරඟයේදී ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොදුසේවා බලකා කණ්ඩායම ලකුණු 26 ක් ලබාගනිමින් ශූරතාව දිනාගත් අතර, ලකුණු 14 ක් ලබාගනිමින් ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකා කණ්ඩායම විසින් අනුශූරතාවය හිමිකර ගන්නා ලදී.
පිරිමි අවසන් මහා තරඟයේදී ශ්‍රී ලංකා යුද්ධ හමුදා සිංහ රෙජිමේන්තු කණ්ඩායම ලකුණු 34 ක් ලබාගනිමින් ශූරතාව දිනාගත් අතර, ශ්‍රී ලංකා පාබල හමුදා රෙජිමේන්තු කණ්ඩායම විසින් ලකුණු 29 ක් ලබාගනිමින් තරඟාවලියේ අනුශූරතාවය දිනාගන්නා ලදී.
යුද්ධ හමුදා අත්පන්දු කමිටුවේ සභාපති මේජර් ජෙනරල් කේ.එන්.ඩී කරුණාපාල RSP ndu සහ ශ්‍රී ලංකා අත්පන්දු සංගමයේ සභාපති උපාලි රාජපක්‍ෂ මහතා තරඟාවලියේ ජයග්‍රාහකයන් හට කුසලාන සහ සහතිකපත් ප්‍රදානය කළ අතර, මෙම තරඟාවලිය නැරඹීම සඳහා ජ්‍යෙෂ්ඨ නිලධාරින්, නිලධාරින් සහ සෙසුනිලයන් පිරිසක් සහභාගි වූහ.
තරඟාවලියේ කැපීපෙනෙන දස්කම් දැක්වූ ක්‍රීඩක ක්‍රීඩිකාවන් පහතින් දැක්වේ:
• හොඳම ක්‍රීඩකයා: ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ කෝප්‍රල් එම්.එම්.එන්.එස් අධිකාරි
• හොඳම ක්‍රීඩිකාව: ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොදුසේවා බලකායේ සාමාන්‍ය සෙබල එස්.ඒ.එස්.එම් පෙරේරා
• දක්‍ෂතම පන්දු රකින්නා (පිරිමි) : ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ කෝප්‍රල් එම්.ඩබ්ලිව්.ඒ.පී වීරසිංහ
• දක්‍ෂතම පන්දු රකින්නා (කාන්තා) : ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොදුසේවා බලකායේ ලාන්ස් කෝප්‍රල් ඊ.එම්.එන්.එස් බණ්ඩාර