යුද්ධ හමුදාවෙන් විශ්වවිද්‍යාල සිසුසිසුවියන් වෙත ලැප්ටොප් පරිගණක පරිත්‍යාගයක්

ශ්‍රී ලංකා යුද්ධ හමුදා සුභසාධන අධ්‍යක්‍ෂ මණ්ඩලය විසින් 2025 අගෝස්තු මස12 දින යුද්ධ හමුදා සාමාජිකයන්ගේ රජයේ විශ්ව විද්‍යාල තුල අධ්‍යාපනය ලබන ළමුන් වෙත ලැප්ටොප් පරිගණක ලබාදීමේ විශේෂ පරිත්‍යාග වැඩසටහනක් පවත්වන ලදී. එහිදී 2023 වසරේ අ.පො.ස උසස් පෙළ විභාගය සාර්ථකව නිම කිරීමෙන් පසු විශ්වවිද්‍යාල ප්‍රවේශය ලබාගත් පළමු වසරේ උපාධි අපේක්‍ෂකයින් වෙනුවෙන් මෙම ලැප්ටොප් පරිගණක බෙදාදෙනු ලැබූහ.

මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් ලසන්ත රොද්‍රිගෝ RSP ctf-ndu psc IG සහභාගි වූ අතර, එහිදී සුභසාධන අධ්‍යක්‍ෂ ජෙනරාල් මේජර් ජෙනරල් ජී.සී.වී ප්‍රනාන්දු ndc සහ අනෙකුත් ජ්‍යෙෂ්ඨ නිලධාරින් විසින් එතුමන්ව උණුසුම් ලෙස පිළිගනු ලැබීය.

උත්සවය අතරතුරදී, යුද්ධ හමුදාධිපතිතුමන්, යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධාන මේජර් ජෙනරල් ඩී.කේ.එස්.කේ දොලගේ USP nps psc, නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධාන මේජර් ජෙනරල් වයි.ඒ.බී.එම්. යහම්පත් RWP RSP ndu psc සහ ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනාවේ සේනාවිධායක මේජර් ජෙනරල් කේ.වී.එන්.පී ප්‍රේමරත්න RSP USP nps psc විසින් සිසුසිසුවියන් වෙත ලැප්ටොප් පරිගණක 57 ක් (HP Core i5 – 14th Gen) බෙදා දෙන ලදී.

සේවයේ නියුතු යුද්ධ හමුදා සාමාජිකයින්ගේ ළමුන්ට ඔවුන්ගේ අධ්‍යයන කටයුතු සඳහා අත්‍යවශ්‍ය තාක්‍ෂණික සම්පත් ලබාදීමේ අරමුණින් මෙම සුභසාධන වැඩසටහන ක්‍රියාත්මක කරන ලදී.

මෙම අවස්ථාවට ජ්‍යෙෂ්ඨ නිලධාරින්, නිලධාරින්, සෙසුනිලයන් සහ ප්‍රතිලාභීන්ගේ දෙමාපියන් සහභාගි වූහ.