යුද්ධ හමුදාව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව සමඟ එක්ව දූෂණ විරෝධී පුහුණු වැඩසටහනක් පවත්වයි

ශ්‍රී ලංකාවෙන් අල්ලස් හා දූෂණය තුරන් කිරීමේ ජාතික ක්‍රියාකාරී සැලැස්මට අනුකූලව, ජනාධිපති ලේකම් කාර්යාලය, අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව සහ ශ්‍රී ලංකා යුද්ධ හමුදා අභ්‍යන්තර කටයුතු ඒකකය සමඟ එක්ව 2025 සැප්තැම්බර් මස 12 දින යුද්ධ හමුදා මූලස්ථාන ශ්‍රවණාගාරයේදී එක්දින දූෂණ විරෝධී පුහුණු වැඩසටහනක් පවත්වනු ලැබීය.

‘අල්ලස, දූෂණය සහ වංචාවෙන් තොරව, අවංක හා පිරිසිදු පාලනයක් සහිත රාජ්‍යයක් ගොඩනැගීම’ යන තේමාව යටතේ පැවති මෙම වැඩසටහන සඳහා යුද්ධ හමුදා මූලස්ථානයේ නිලධාරින් සහ සෙසුනිලයන් 103 දෙනෙකු මෙන්ම Zoom තාක්‍ෂණය ඔස්සේ තවත් යුද්ධ හමුදා සාමාජිකයන් 1,800 ක පමණ පිරිසක් සහභාගී වූහ. යුද්ධ හමුදාධිපතිතුමන්ගේ උපදෙස් මත යුද්ධ හමුදා අභ්‍යන්තර කටයුතු ඒකකයේ ප්‍රධානී වශයෙන් කටයුතු කරන යුද්ධ හමුදා මාන්ඩලික ප්‍රධානගේ මඟපෙන්වීම යටතේ යුද්ධ හමුදා විධායක ජෙනරාල්ගේ අධීක්‍ෂණය යටතේ මෙම පුහුණු වැඩසටහන පවත්වනු ලැබීය.

වැඩසටහනේ අරමුණු පිළිබවඳ මූලික පැහැදිලි කිරීමකින් පසුව පුහුණු වැඩසටහනේ කටයුතු ආරම්භ කළ අතර, ඉන් අනතුරුව ප්‍රධාන ආරාධිත අමුත්තා සහ ආරාධිත කථිකාචාර්යවරිය ලෙස සහභාගි වූ ජනාධිපති අතිරේක ලේකම් චන්දිමා වික්‍රමසිංහ මහත්මියගේ දේශනය පැවැත්විණි. එහිදී එතුමිය රාජ්‍ය ආයතන තුළ අල්ලස, දූෂණය සහ වංචාවෙන් තොරව, අවංක හා පිරිසිදු පාලනයක් ඇති කිරීමේදී අභ්‍යන්තර කටයුතු ඒකකවල වැදගත් කාර්යභාරය පිළිබඳව පෙන්වා දුන්හ. ඉන් පසුව, අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ සහකාර අධ්‍යක්‍ෂ ජනරාල් තනුජා බණ්ඩාර මහත්මිය විසින් සිදුකරනු ලැබූ දේශනයේදී දූෂණයේ ස්වභාවය, ජාතික සම්පත් කෙරෙහි එහි බලපෑම සහ එවැනි අභියෝගවලට මුහුණ දීමේදී ජාත්‍යන්තර වශයෙන් භාවිතාකරනු ලබන ක්‍රම වේදයන් පිළිබඳව පෙන්වා දෙමින් මෙරට නීති රාමුව, අල්ලස් හා දූෂණය පිටුදැකීමේ යාන්ත්‍රණ සහ අල්ලස් හා දූෂණයට එරෙහිව කටයුතු කිරීමේදී අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව වෙත පවරා ඇති බලතල සහ වගකීම් පිළිබඳව ද එහිදී දැනුවත් කරන ලදී.

පුහුණු වැඩසටහන අවසානයේදී සහභාගිවූවන්ගේ දැනුම වැඩිදියුණු කිරීම වෙනුවෙන් මෙම දේශනය පැවැත්වූ ආරාධිත රාජ්‍ය නිලධාරිනියන් ඇගයීමට ලක්කරමින් ස්තූති කතාව පවත්වනු ලැබීය. මෙම පුහුණු වැඩසටහන මඟින් අල්ලස් හෝ දූෂණයෙන් තොර ශ්‍රී ලංකාවක් පිළිබඳ රජයේ දැක්ම සමඟ එක්ව කටයුතු කරමින් යුද්ධ හමුදා නිලධාරින්ගේ වෘත්තීයභාවය, විනිවිදභාවය සහ සදාචාරාත්මක හැසිරීම වැඩි දියුණු කිරීමේ වැදගත් පියවරක් සනිටුහන් කළේය.