යුද්ධ හමුදාධිපතිතුමන් කොළඹ, යුද්ධ හමුදා රෝහල් කාර්ය මණ්ඩලය අමතයි

යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් ලසන්ත රොද්‍රිගෝ RSP ctf-ndu psc IG විසින් 2025 අප්‍රේල් මස 30 දින කොළඹ, යුද්ධ හමුදා රෝහලේදී එම කාර්ය මණ්ඩලය ආමන්ත්‍රණය කරන ලදී.

රෝහල් පරිශ්‍රය වෙත පැමිණි යුද්ධ හමුදාධිපතිතුමන් කාර්යේ නියුක්ත යුද්ධ හමුදා සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජෙනරාල් බ්‍රිගේඩියර් ඩබ්ලිව්.එච්.යූ.ඩී විජේරත්න, කොළඹ, යුද්ධ හමුදා රෝහලේ අධ්‍යක්‍ෂ බ්‍රිගේඩියර් ඩී.කේ.එස්.එස් දොඩන්ගොඩ RSP USP සහ අනෙකුත් ජ්‍යෙෂ්ඨ නිලධාරින් විසින් උණුසුම් අයුරින් පිළිගන්නා ලදී.

ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහනට සමගාමීව සිදුකරනු ලැබූ මෙම නිල සංචාරයේදී යුද්ධ හමුදාධිපතිතුමන් විසින් එම රෝහලේ කාර්ය මණ්ඩලය ආමන්ත්‍රණය කරමින් සේවයේ නියුතු, විශ්‍රාමික, රණක්‍ෂිතයට පත් යුද්ධ හමුදා සාමාජිකයන්ගේ සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින් මෙන්ම ක්‍රියාන්විත සමයේදී දිවිපිදූ රණවිරුවන්ගේ පවුල්වල සාමාජිකයින්ගේ සෞඛ්‍ය අවශ්‍යතා ඵලදායී ලෙස සිදුකිරීමට අවශ්‍ය උපදෙස් ලබාදෙන ලදී.

එහිදී, යුද්ධ හමුදාධිපතිතුමන් විසින් රෝහල් වෛද්‍ය කාර්ය මණ්ඩලය, පරිපාලන හා සිවිල් කාර්ය මණ්ඩලය මඟින් හමුදා නිලධාරින් සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන් වෙත කැපවීමෙන් සිදුකරනු ලබන සේවය වෙනුවෙන් සිය කෘතඥතාවය පළකරන ලදී. අනතුරුව, එතුමන් විසින් හමුදාවක සංග්‍රාමික සූදානම සහ එම සෙබළුන්ගේ සුභසාධනය පවත්වාගැනීම සඳහා ඉමහත් සේවයක් සිදුකරනු ලබන සෞඛ්‍ය සේවා ක්ෂේත්‍රය තුළ පැවතිය යුතු ඉහළ ප්‍රමිතීන් පිළිබඳව ඉස්මතු කරන ලදී.

ඉන් පසුව, යුද්ධ හමුදාධිපතිතුමන් විසින් රෝහල් කාර්ය මණ්ඩලය විසින් ඉදිරිපත් කරන ලද මෙහෙයුම් සහ පරිපාලන ගැටළු සඳහා අවධානය යොමු කිරීමෙන් අනතුරුව එම ගැටළු සඳහා විසඳුම් ලබාදීමට කඩිනම් පියවර ගන්නා බව ද ප්‍රකාශ කරන ලදී.

භටපිරිස් ආමන්ත්‍රණයෙන් පසුව, රෝහල් පරිශ්‍රයේ වාට්ටු කිහිපයක නිරීක්‍ෂණ සංචාරයක නිරත වූ යුද්ධ හමුදාධිපතිතුමන් එහිදී, රෝහල් කාර්ය මණ්ඩලය සහ රෝගීන් සමඟ සුහද අදහස් හුවමාරුවක නිරත වෙමින් රෝගීන් වෙත ලබාදෙනු ලබන සෞඛ්‍ය සේවාවේ ප්‍රමිතීන් පිළිබඳව නිරීක්‍ෂණය කරන ලදී.

මෙම අවස්ථාව සඳහා යුද්ධ හමුදා විධායක ජෙනරාල් මේජර් ජෙනරල් කේ.වී.එන්.පී ප්‍රේමරත්න RSP USP psc ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරින්, නිලධාරින් සහ සෙසුනිලයන් රැසක් සහභාගි වූහ.