30th March 2026
යුද්ධ හමුදා යුධ විද්‍යාලය විසින් 2026 මාර්තු මස 25 සහ 26 යන දෙදින තුළ, Diners’ Club වැඩසටහනක් සහ මුලතිව් අල්ලා ගැනීම පාදක කරගනිමින් Battlefield Case Study වැඩසටහනක් පවත්වන ලදී.
මෙම වැඩසටහන, ජ්‍යෙෂ්ඨ අණදෙන පාඨමාලා අංක 16 සහ කනිෂ්ඨ අණදෙන පාඨමාලා අංක 35 ශිෂ්‍ය නිලධාරීන් හට පවත්වන ලද අතර, මෙමගින් ශිෂ්‍ය නිලධාරින් හට පසුගිය අත්දැකීම් ගැන සාකච්ඡා කිරීම සහ මෙහෙයුම් විශ්ලේෂණය පිළිබඳ දැන ගැනීමට හැකිවිය.
මෙම වැඩසටහන 2026 මාර්තු මස 25 වන දින Mullaitivu – From Debacle to Victory යන තේමාව යටතේ පැවැත්වුණු Diners’ Club සැසියකින් ආරම්භ විය. මෙම සැසිය සඳහා ශිෂ්‍ය නිලධාරීන් 166 දෙනෙකු සමඟ විද්‍යාලයේ සාමාජිකයන් සහ ස්ථිර කාර්ය මණ්ඩලය සහභාගී වූහ.
ප්‍රධාන දේශනය 59 පාබල සේනාංකයේ හිටපු සේනාංකාධිපති මේජර් ජෙනරල් නන්දන උඩවත්ත (විශ්‍රාමික) ජ්‍යෙෂ්ඨ නිලධාරි විසින් පවත්වන ලදී. එහිදී ඔහු දැඩි පීඩනයක් යටතේ නායකත්වය ලබා දීම, මෙහෙයුම් සැලසුම් කිරීම සහ සංකීර්ණ භූමි ප්‍රදේශයන්හි ඉහළ තීව්‍රතාවයකින් යුත් මෙහෙයුම් මෙහෙයවීම පිළිබඳ සිය ප්‍රායෝගික අත්දැකීම් සහ තීක්ෂණ බුද්ධිය බෙදා හදා ගත්තේය.
2026 මාර්තු මස 26 වන දින, උතුරු මානුෂීය මෙහෙයුමේදී මුලතිව් අත්පත් කර ගැනීම පිළිබඳව අවධානය යොමු කරමින් රෙදි ආකෘති උපයෝගී කරගනිමින් මෙම වැඩසටහන තවදුරටත් ඉදිරියට පවත්වාගෙන යන ලදී. මෙම මෙහෙයුමට සෘජුවම සම්බන්ධ වූ යුද ප්‍රවීණයන්ගේ සහභාගීත්වය මෙම වැඩසටහනේ කැපී පෙනෙන විශේෂත්වයක් විය.
59 පාබල සේනාංකයේ හිටපු කර්නල් පාලන සහ භඨකාර්ය සම්පාදක මේජර් ජෙනරල් එච්.එම්.යූ.බී. හේරත් (විශ්‍රාමික) ජ්‍යෙෂ්ඨ නිලධාරි සමඟ එක්ව මේජර් ජෙනරල් නන්දන උඩවත්ත (විශ්‍රාමික) ජ්‍යෙෂ්ඨ නිලධාරි ඔවුන්ගේ යුද බිමේ අත්දැකීම් සහ වෘත්තීයමය තීක්ෂණ බුද්ධිය බෙදා හදා ගනිමින් මෙම සැසිය වඩාත් අර්ථවත් කළහ.