යුද්ධ හමුදා යහසාධක අධ්‍යක්‍ෂ මණ්ඩලය දැනුවත් කිරීමේ වැඩසටහනක් පවත්වයි

යුද්ධ හමුදා යහසාධක අධ්‍යක්‍ෂ මණ්ඩලය විසින් එම අරමුදල පිළිබඳ නිලධාරීන් සහ සෙසුනිලයන් දැනුවත් කිරීමේ වැඩසටහනක් 2026 පෙබරවාරි මස 18 වන දින ශ්‍රී ලංකා පාබල හමුදා රෙජිමේන්තු මධ්‍යස්ථානයේදී සහ 2026 පෙබරවාරි මස 19 වන දින ඉංජිනේරු සේවා බලකා රෙජිමේන්තු මධ්‍යස්ථානයේදී පවත්වන ලදී.

එහිදී, යුද්ධ හමුදා යහසාධක අධ්‍යක්‍ෂ කර්නල් කේ.ඒ.ඩී.සී.ජේ. කොඩිතුවක්කු විසින් ඊට සහභාගී වූවන් අමතමින් එම අරමුදලේ විෂය පථය, අරමුණ, හමුදා සාමාජිකයන්ගේ ජීවන තත්ත්වය සහ මූල්‍ය ආරක්‍ෂාව නංවාලීම සඳහා එම අරමුදලේ කාර්යභාරය පිළිබඳව පැහැදිලි කළේය. තවද, ප්‍රමාදයකින් තොරව එම කටයුතු සිදුකරවා ගැනීමට අයදුම්පත් ඉදිරිපත් කළ යුතු නිවැරදි ක්‍රමවේදය පිළිබඳවත් අවධාරණය කළේය.

වැඩසටහන අතරතුරදී, පොදුවේ සිදුවන පාලනමය අඩුපාඩු සහ ඒකක මට්ටමින් වාර්තා නිවැරදිව පවත්වාගෙන යාමේ අවශ්‍යතාවය ගැන අවධානය යොමු කරනු ලැබූ අතර, සහභාගී වූවන්ට තම ගැටලු ඉදිරිපත්කර එම ගැටලු නිරාකරණය කර ගැනීමටත් අවස්ථාව ලැබුණි.