යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනාවේ සේනාවිධායක 12 වන (ස්වේච්ඡා) ඉංජිනේරු සේවා රෙජිමේන්තුව සහ 3 වන (ස්වේච්ඡා) බලඇණිය ගැමුණු හේවා බලකායේ නිල සංචාරයක

ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනාවේ සේනාවිධායක මේජර් ජෙනරල් කේ.වී.එන්.පී ප්‍රේමරත්න RSP USP nps psc, 2026 මාර්තු මස 06 වන දින කඹුරුපිටියේ ස්ථාපිත 12 වන (ස්වේච්ඡා) ඉංජිනේරු සේවා රෙජිමේන්තුවේ සහ මාතර ස්ථාපිත 3 වන (ස්වේච්ඡා) බලඇණිය ගැමුණු හේවා බලකායේ නිල සංචාරයක නිරත විය.

එම ඒකකයන්හි මෙහෙයුම් සහ පරිපාලන කාර්ය සාධනය සොයා බැලීමේ අරමුණින් මෙම සංචාරයන් සිදුකරනු ලැබීය.

ඒකකයන් වෙත පැමිණි යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනාවේ සේනාවිධායක වෙත භටපිරිස් විසින් හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු මුරයේ සහ මුරය පසුකර ගෙන යාමේ ගෞරවාචාරයන් පිරිනමන ලදී. පසුව, එම එ්කකයන්හි අණදෙන නිලධාරීන් විසින් සේනාවිධායක වෙත ඒකකයන්හි මෙහෙයුම් ක්‍රියාකාරකම් සහ ඉදිරි සැලසුම් පිළිබඳව විස්තර කරනු ලැබීය.

ඉන් පසුව, එම ඒකකයන්හි සියලු නිලයන් ඇමතූ යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනාවේ සේනාවිධායක විසින් භටපිරිස්හි වෘත්තීය විශිෂ්ටත්වයේ මූලික අංගයක් ලෙස ස්වයං දැනුවත්භාවයේ වැදගත්කම පිළිබඳව අවධාරණය කරමින් හමුදා රාජකාරි සහ සිවිල් කටයුතු යන දෙකෙහිම මනා කාර්ය සාධනයක් ලබාගැනීම සඳහා තමන්ගේ අනන්‍යතාවය, මෙහෙවර, කාර්යය සහ නිශ්චිත අරමුණු පැහැදිලිව අවබෝධ කර ගන්නා ලෙස දිරිමත් කරන ලදී.

සංචාරයන් අවසානයේදී, සේනාවිධායක විසින් 12 වන (ස්වේච්ඡා) ඉංජිනේරු සේවා රෙජිමේන්තු කඳවුරු පරිශ්‍රයේ පැළයක් රෝපණය කරන ලදී. එමෙන්ම එම ඒකකයන්හි අමුත්තන් සඳහා වූ සමරු සටහන් පොත්හි සටහනක්ද තැබීය.

මෙම සංචාරයන් සඳහා ශ්‍රී ලංකා ස්වේච්ඡා බලසේනාවේ ප්‍රධාන මාණ්ඩලික නිලධාරීන් සහ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සඳහා සහභාගී වූහ.