5th April 2026
ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනාවේ 62 වන සේනාවිධායක ලෙස ගජබා රෙජිමේන්තුවේ රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරල් යූ.කේ.ඩී.ඩී.පී. උඩුගම RWP RSP USP ndc psc, 2026 අප්‍රේල් මස 04 වන දින කොස්ගම, එම බලසේනා මූලස්ථානයේදී ධූරයේ රාජකාරි භාරගනු ලැබීය.
මූලස්ථාන පරිශ්‍රය වෙත පැමිණි නව සේනාවිධායක වෙත භටපිරිස් විසින් හමුදා සම්ප්‍රදායානුකූල, කඳවුරු මුරයේ ගෞරවාචාරය පිරිනමන ලදී. පසුව, ජාතිය වෙනුවෙන් උත්තරීතර කැපකිරීමක් කළ දිවිපිදූ රණවිරුවන්ට ගෞරව දක්වමින් දිවංගත කපිතන් සාලිය අලදෙණිය නිලධාරීගේ ස්මාරකය වෙත පුෂ්පෝපහාර පිරිනැමීය.
පසුව, නව සේනාවිධායක සමූහ ඡායාරූපයකට පෙනී සිටිමින් මූලස්ථාන පරිශ්‍රයේ පැළයක් රෝපණය කළේය.
ඉන් පසුව, එම ජ්‍යෙෂ්ඨ නිලධාරී සියලු භටපිරිස් අමතමින් තමා කෙරෙහි තැබූ විශ්වාසය වෙනුවෙන් යුද්ධ හමුදාධිපතිතුමන් වෙත සිය කෘතඥතාව පළ කර අතර, තමා වෙත දක්වන ලද පිළිගැනීම වෙනුවෙන්ද සිය කෘතවේදීත්වයද පළ කළේය. එමෙන්ම, දශක තුනක කාලයක් පැවති මානූෂීය මෙහෙයුම අතරතුරදී දිවිපිදූ සහ රණක්‍ෂිතයට පත් ස්වේච්ඡා බලසේනාවේ රණවිරුවන් වෙත උපහාර දැක්වීය.
තවද, නව සේනාවිධායක විසින් යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනාවේ වසර 145 ක අභිමානවත් ඉතිහාසය අඟය කරමින්, යුද්ධ හමුදාවේ අඛණ්ඩ ප්‍රගතිය සහ ඵලදායී ක්‍රියාකාරිත්වය සඳහා විනය, දැනුම සහ කාර්යක්ෂමතාවයේ වැදගත්කම අවධාරණය කරන ලදී.
උත්සවයේ කටයුතු අවසන් කරමින් තේ පැන් සංග්‍රහයක් පැවැත්වූ අතර, නව සේනාවිධායක ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ සෙසුනිලයන් සමඟින් සුහදව අදහස් හුවමාරු කරගත්හ.