යුද්ධ හමුදා සන්නද්ධ බුද්ධි අංශය විසින් ඒකාබද්ධ වැටලීමකින් නීති විරෝධී භාන්ඩ තොගයක් අත්අඩංගුවට

යුද්ධ හමුදා සන්නද්ධ බුද්ධි අංශය වෙත ලද තොරතුරු වලට අනුව 2025 දෙසැම්බර් මස 17 වන දින පොලිස් අපරාධ විමර්ශන ඒකකයන් සමඟ මන්නාරම සහ මාතලේ ප්‍රදේශයන්හිදී සිදුකල වැටලීම් වලින් නීති විරෝධී භාන්ඩ රැසක් අත්අඩංගුවට ගැනීමට හැකි විය.

ඒ අනුව, මන්නාරම, කොට්ඨාශ අපරාධ විමර්ශන ඒකකය සමඟ ඒකාබද්ධව සිදුකරන ලද මෙහෙයුමේදී තාරපුරම් ප්‍රදේශයේ හුසානියා ජුම්මා පල්ලිය අසල නවතා තිබූ සැක සහිත ලොරියක් පරීක්‍ෂා කරන ලද අතර, එහිදී රුපියල් මිලියන 23.9 ක් (සිගරට් 189,000 ක්) පමණ වටිනා නීති විරෝධී ලෙස ආනයනය කරන ලද සිගරට් සහ කෘමිනාශක තොගයක් අත්අඩංගුවට ගන්නා ලදී. පාලවිය ප්‍රදේශයේ පදිංචි ලොරි රථයේ රියදුරු අත්අඩංගුවට ගත් අතර, මන්නාරම පොලිස් ස්ථානය විසින් වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.

එසේම, දඹුල්ල පොලිස් විශේෂ කාර්ය බලකාය සමඟ එක්ව මාතලේ පලාපත්වල ප්‍රදේශයේ තවත් මෙහෙයුමක් සිදු කරන ලද අතර, එහිදී රුපියල් මිලියන 300 ක් වටිනා ගජමුතු දෙකක් අළෙවි කිරීමට උත්සාහ කරන ලද අවස්ථාවේදී ඉන්ධන පිරවුම්හලක් අසලදී සැකකරුවෙකු අත්අඩංගුවට ගන්නා ලදී. වැඩිදුර පරීක්‍ෂණ සඳහා සැකකරු කුරුණෑගල වනජීවී කලාපයේ සහකාර අධ්‍යක්‍ෂ කාර්යාලය වෙත භාර දෙන ලදී.