යුද්ධ හමුදා සහන සේවා කටයුතු සඳහා නෙස්ලේ ශ්‍රී ලංකා සමාගමෙන් රුපියල් මිලියන 8.5 ක වටිනාකමකින් යුත් පරිත්‍යාගයක්

යුද්ධ හමුදාව සිදුකරනු ලබන සහන සේවා කටයුතු සඳහා සහයෝගය දැක්වීමක් වශයෙන් නෙස්ලේ ශ්‍රී ලංකා සමාගම විසින් රුපියල් මිලියන 8.5 ක වටිනාකමකින් යුත් නෙස්කැෆේ, නෙස්ටී සහ නෙස්ටමෝල්ට් නිෂ්පාදන තොගයක් 2025 දෙසැම්බර් 03 වන දින යුද්ධ හමුදා මූලස්ථානය වෙත පරිත්‍යාග කරන ලදී.

මෙම පරිත්‍යාගයන් නෙස්ලේ ශ්‍රී ලංකා සමාගමේ කළමනාකාර අධ්‍යක්‍ෂ බර්න්හාර්ඩ් ස්ටෙෆාන් මහතා විසින් යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් ලසන්ත රොද්‍රිගෝ RSP ctf-ndu psc IG වෙත නිල වශයෙන් ප්‍රධානය කරන ලදී. දිවයින පුරා සහන සේවා කටයුතුවල නියැලී සිටින යුද්ධ හමුදා භටපිරිස්හි ප්‍රයෝජනය වෙනුවෙන් මෙම පරිත්‍යාගයන් සිදුකරනු ලැබීය.

මෙම පරිත්‍යාග වැඩසටහන ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනාවේ සේනාවිධායක මේජර් ජෙනරල් කේ.වී.එන්.පී ප්‍රේමරත්න RSP USP nps psc විසින් සම්බන්ධීකරනය කරන ලදී.

මෙම අවස්ථාවට නෙස්ලේ ශ්‍රී ලංකා සමාගමේ ජ්‍යෙෂ්ඨ නිලධාරින් සහ නියෝජිතයින් පිරිසක් සහභාගී වූහ.