26th March 2026
14 බලඇණිය ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බලමුළුවේ අයත් සාමාන්‍ය සෙබළ ආර්.කේ.පී.ඒ.ආර්.කේ. රාජපක්ෂ විසින් 2026 මාර්තු මස 21 දින සෙරන්ඩිබ් ලෝක වාර්තා කමිටුවේ අධීක්ෂණය යටතේ පදවිය පොදු ක්‍රීඩාංගණයේදී නව සෙරන්ඩිබ් ලෝක වාර්තා කිහිපයක් පිහිටුවමින් යුද්ධ හමුදාවට අභිමානයක් සහ ගෞරවයක් අත්කර දී ඇත. ඔහුගේ ශාරීරික ශක්තිය, අධිෂ්ඨානය සහ සුවිශේෂී දක්ෂතාවයන් මෙම අභියෝගාත්මක ඉසව් මාලාව හරහා මැනවින් ප්‍රදර්ශනය විය.
පිහිටුවන ලද සෙරන්ඩිබ් ලෝක වාර්තා පහත පරිදි වේ:
• විනාඩියක් ඇතුළත දත් ආධාරයෙන් පොල් ගෙඩි හතරක් ලෙලි ගැසීම.
• විනාඩි තුනක් ඇතුළත දත් ආධාරයෙන් පොල් ගෙඩි දහයක් ලෙලි ගැසීම.
• දත් ආධාරයෙන් කිලෝග්‍රෑම් 80 ක බරක් එසවීම.
මෙම විශිෂ්ට ජයග්‍රහණ ඇගයීමට ලක් කරමින්, එදිනම පැවැත්වූ උත්සවයේදී සෙරන්ඩිබ් ලෝක වාර්තා කමිටුව විසින් ඔහුට නිල සහතික පත්‍ර සහ කුසලාන පිරිනමන ලදී.
මෙම ජයග්‍රහණය මගින් ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ සාමාජිකයන් සතු ඉහළ මට්ටමේ ශාරීරික දරාගැනීම, ධෛර්යය සහ විනය මැනවින් පිළිඹිබු වන අතර, සාමාන්‍ය සෙබළ ආර්.කේ.පී.ඒ.ආර්.කේ. රාජපක්ෂ විසින් පෙන්නුම් කරන ලද මෙම සුවිශේෂී දක්ෂතාවය සහ යුද්ධ හමුදාවට අත්කර දුන් ගෞරවය වෙනුවෙන් ශ්‍රී ලංකා යුද්ධ හමුදාව ඔහු වෙත සිය හෘදයාංගම සුබපැතුම් පිරිනමයි.