යුද්ධ හමුදා රෙජිමේන්තු මධ්‍යස්ථානයන්හි යටිතල පහසුකම් වැඩිදියුණු කිරීමට යුද්ධ හමුදා සුභසාධන අරමුදලෙන් මූල්‍ය ආධාර පිරිනමයි

යුද්ධ හමුදා රෙජිමේන්තු මධ්‍යස්ථානයන්හි යටිතල පහසුකම් වැඩිදියුණු කිරීම සඳහා යුද්ධ හමුදා සුභසාධන අරමුදලෙන් මූල්‍ය ආධාර ප්‍රදානය කිරීමේ උත්සවයක් 2025 ජූලි මස 02 දින යුද්ධ හමුදා මූලස්ථානයේදී පැවති අතර එම අවස්ථාව සඳහා ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් ලසන්ත රොද්‍රිගෝ RSP ctf-ndu psc IG සහභාගි විය.

උත්සව අවස්ථාව සඳහා පැමිණි යුද්ධ හමුදාධිපතිතුමන් යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධාන මේජර් ජෙනරල් ඩී.කේ.එස්.කේ දොලගේ USP nps psc විසින් උණුසුම් අයුරින් පිළිගන්නා ලදී. උත්සවයේ ආරම්භය සනිටුහන් කරමින් මෙම වැඩසටහනේ වැදගත්කම පිළිබඳ හැඳින්වෙන වීඩියෝපටයක් ප්‍රදර්ශනය කෙරිණි.

ඉන් අනතුරුව, යුද්ධ හමුදාධිපතිතුමන්, යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධාන සහ නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධාන එක්ව, සියලුම යුද්ධ හමුදා රෙජිමේන්තු මධ්‍යස්ථානයන් වෙත රුපියල් මිලියනයක වටිනාකමකින් යුත් චෙක්පත් ප්‍රදානය කෙරිණි.