යුද්ධ හමුදා බුද්ධි අංශය වෙත ලද තොරතුරු මත, නීතිවිරෝධී මත්ද්‍රව්‍ය හා වල්ලාපට්ටා තොගයක් සමඟ සැකකරුවන් පිරිසක් අත්අඩංගුවට

ශ්‍රී ලංකා යුද්ධ හමුදා බුද්ධි අංශය විසින් ලබාදෙන ලද විශ්වාසනීය තොරතුරු මත හෙරොයින් සහ වල්ලාපට්ටා තොගයක් අත්අඩංගුවට ගැනීමේ සහ නීතිවිරෝධී ජාවාරම් ක්‍රියාවලට සම්බන්ධ සැකකරුවන් කිහිප දෙනෙකු අත්අඩංගුවට ගැනීමේ ප්‍රධාන මෙහෙයුම් දෙකක් සාර්ථක පවත්වන ලදී. මෙම මෙහෙයුම් දකුණු පළාතේදී 2025 නොවැම්බර් මස 6 දින සහ 8 යන දින වලදී සිදු කරන ලදී.

යුද්ධ හමුදා බුද්ධි අංශය වෙත ලද තොරතුරක් මත, 2025 නොවැම්බර් මස 08 වන දින කොළඹ අපරාධ ඒකකයේ පොලිස් නිලධාරීන් පිරිසක් සමඟ මිටියාගොඩ, ගොඩගම ප්‍රදේශයේදී සිදුකරන ලද ඒකාබද්ධ වැටලීමකදී රුපියල් මිලියන හැත්තෑ පහක් (රු. 75,000,000.00 ) පමණ වටිනාකමකින් යුත් හෙරොයින් කිලෝග්රෑම් 5 ග්‍රෑම් 420ක ප්‍රමාණයක් හා මත්ද්‍රව්‍ය ජාවාරමෙන් උපයාගත් බවට සැක කෙරෙන රුපියල් එක්කෝටි අටලක්ෂ එකොලොස් දහස් පන්සියයක (රු.10,811,500) මුදලක් සමඟ සැකකරුවන් හය දෙනෙකු අත්අඩංගුවට ගැනීමට හැකි විය.

සැකකරුවන් සබැඳි ඉදිරි නීතිමය කටයුතු ගාල්ල දිස්ත්‍රික් පොලිස් මත්ද්‍රව්‍ය නිවාරණ කාර්යාංශය වෙතින් සිදු කරනු ලබයි.

මේ අතර, හමුදා බුද්ධි අංශය විසින් ලබාදෙන ලද බුද්ධි තොරතුරු අනුව 2025 නොවැම්බර් මස 06 දින දෙනියාය වන සංරක්ෂණ නිලධාරීන් සමඟ එක්ව මාතර, කොටපල ප්‍රදේශයේදී රුපියල් මිලියන 662 කට අධික වටිනාකමකින් යුත් වල්ලාපට්ටා කිලෝ 110යි ග්‍රෑම් 450ක් සමඟ දෙනියාය ප්‍රදේශයේ පදිංචි පුද්ගලයින් තිදෙනෙකු අත්අඩංගුවට ගැනීමට හැකි විය.