2026-05-09

යුද්ධ හමුදා භටපිරිස් යාපනය ශික්‍ෂණ රෝහලේ ඇති වූ ගින්න නිවා දැමීමට සහාය ලබාදෙයි

යාපනය ශික්‍ෂණ රෝහලේ 2026 මැයි මස 09 වන දින අලුයම ඇති වූ ගින්න නිවා දැමීමට 512 පාබල බලසේනාවේ, 17 වන බලඇණිය ගැමුණු හේවා බලකායේ සහ 14 වන බලඇණිය ගජබා රෙජිමේන්තුවේ භටපිරිස් සහාය ලබා දුන්හ.

එම ගින්න රෝහල් ඖෂධ ගබඩා පරිශ්‍රයේ ඇති වූ බව වාර්තා වේ.

සිදුවීම පිළිබඳ තොරතුරු ලැබුණු වහාම, යාපනය ප්‍රදේශයේ රාජකාරින් සඳහා යොදවා ඇති යුද්ධ හමුදා භටපිරිස් පළමුවෙන්ම සහ කඩිනමින් ගින්න මැඩපැවැත්වීම සඳහා එම ස්ථානයට ලගා වූහ.

භටපිරිස් විසින් ගින්න මැඩපැවැත්වීමට සහ ඒ අසල ඇති වාට්ටු, රෝහල් යටිතල පහසුකම් වෙත ගින්න පැතිරීම වැළැක්වීම සඳහා කඩිනමින් අනෙකුත් හදිසි ප්‍රතිචාර ආයතන සමඟ එක්ව අවශ්‍ය කටයුතු සිදුකරන ලදී. එමගින් රෝහල් දේපළවලට තවදුරටත් සිදුවන හානිය අවම කිරීමට සහ රෝගීන්ගේ, රෝහල් කාර්ය මණ්ඩලයේ සහ අවට ප්‍රදේශයේ ආරක්‍ෂාව වෙනුවෙන් උපරිම දායකත්වයක් ලබාදෙනු ලැබීය.

ගින්න සම්පූර්ණයෙන්ම මැඩපැවැත්වීමෙන් පසු, භටපිරිස් විසින් සිද්ධිය වූ ස්ථානයේ ඇති සුන්බුන් ඉවත් කිරීමේ කටයුතුවලද නිරත වන ලදී.