යුද්ධ හමුදා අභ්‍යන්තර කටයුතු ඒකකයේ දෙවන ප්‍රගති සමාලෝචන සාකච්ඡාව යුද්ධ හමුදා මූලස්ථානයේදී පවත්වයි

යුද්ධ හමුදාව ශක්තිමත් කිරීමට සහ වංචා/දූෂණයන් මැඩපැවැත්වීම සඳහා වූ රජය විසින් ආරම්භ කරනු ලැබූ වැඩසටහනේ කොටසක් ලෙස 2025 අප්‍රේල් 01 වන දින පිහිටුවන ලද ශ්‍රී ලංකා යුද්ධ හමුදා අභ්‍යන්තර කටයුතු ඒකකයේ දෙවන ප්‍රගති සමාලෝචන සාකච්ඡාව 2025 අගෝස්තු මස 12 දින යුද්ධ හමුදා මූලස්ථානයේ මාණ්ඩලික ප්‍රධාන කාර්යාල සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්විය.

ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ මාණ්ඩලික ප්‍රධාන සහ යුද්ධ හමුදා අභ්‍යන්තර කටයුතු ඒකකයේ ප්‍රධාන මේජර් ජෙනරල් ඩී.කේ.එස්.කේ දොලගේ USP nps psc ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ ප්‍රධානත්වයෙන් පවත්වනු ලැබූ මෙම සාකච්ඡාව සඳහා එම කමිටුවේ සාමාජිකයන් 16 දෙනෙකු සහභාගි වූහ. එහිදී වංචා/දූෂණ විරෝධී කටයුතුවල ප්‍රගතිය සමාලෝචනය කිරීම, එම ගනු ලැබූ ක්‍රියාමාර්ගයන් ඇගයීම සහ යුද්ධ හමුදාව තුල විනිවිදභාවය සහ වගවීම සහතික කිරීම සඳහා ගත හැකි ඉදිරි ක්‍රියාමාර්ග හඳුනා ගැනීම සිදුකරනු ලැබීය.

සාකච්ඡා අතරතුරදී, කමිටුවේ සාමාජිකයන් විසින් ජාතික ප්‍රතිපත්තිවලට අනුකූලව මනා පාලනයක් යටතේ යුද්ධ හමුදාවේ හර පද්ධතිය ආරක්‍ෂා කිරීමට සහ ඉහළම ආචාර ධර්ම ප්‍රමිතීන් යටතේ එම කටයුතු මනාව සිදුකිරීමට යලි ප්‍රතිඥා දෙන ලදී.

අභ්‍යන්තර කටයුතු ඒකකයේ ක්‍රියාකාරී අධීක්‍ෂණය සහ වංචා/දූෂණයන් වැළැක්වීමේ ක්‍රියාමාර්ග තුළින් ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ විනය ශක්තිමත් කිරීම, විශ්වාසය පවත්වා ගැනීම සහ කීර්ති නාමය ආරක්‍ෂා කිරීම සඳහා වූ වැදගත් කාර්යභාරයක් ඉටු කරනු ලබයි.