“Wolverine Path 2025” රුසියානු-ශ්‍රී ලංකා ඒකාබද්ධ හමුදා අභ්‍යාසය අරඹයි

රුසියානු-ශ්‍රී ලංකා ද්විපාර්ශ්වික හමුදා අභ්‍යාසයක් වන “Wolverine Path 2025” 2025 ඔක්තෝබර් මස 25 දින සිට නොවැම්බර් මස 04 දක්වා මාදුරුඔය යුද්ධ හමුදා පුහුණු පාසලේදී පැවැත්වේ. මෙම උපායශීලී ත්‍රස්ත විරෝධී අභ්‍යාසය ශ්‍රී ලංකා හමුදාව සහ රුසියානු සමූහාණ්ඩුවේ සන්නද්ධ හමුදා අතර සහයෝගීතාවය සනිටුහන් කරනු ලබන පළමු ඒකාබද්ධ ක්ෂේත්‍ර පුහුණු අභ්‍යාසය වේ.

පාබල අධ්‍යක්ෂ ජනරාල් මේජර් ජෙනරල් කේ.ජේ.එන්.එම්.පී.කේ නව¬රත්න RWP RSP ndu,12 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් ඩබ්ලිව්.එම්.එන්.කේ.ඩී බණ්ඩාර RWP RSP USP ndu psc සහ පුහුණු අභ්‍යාසයේ අධ්‍යක්ෂ මේජර් ජෙනරල් එස්.ඒ.යූ.ඒ සොළංගආරච්චි RSP ndc psc යන ජ්‍යෙෂ්ඨ නිලධාරීන් විසින් එම හමුදා භටපිරිස් 2025 ඔක්තෝබර් මස 24 වන දින මත්තල රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන් තොටුපළේදී උණුසුම් ලෙස පිළිගන්නා ලදී.

රුසියානු සමූහාණ්ඩුව නියෝජනය කරමින් ඇන්ඩ්‍රි බොරිසොවිච් කොස්ලොව් පුහුණු අභ්‍යාසයේ ප්‍රධානියා ලෙස පැමිණි අතර ඒසේම මෙම ඒකාබද්ධ පුහුණු වැඩසටහන පුරා රුසියානු කණ්ඩායමට එම ජ්‍යෙෂ්ඨ නිලධාරි විසින් නායකත්වය දෙනු ලබයි.

“Wolverine Path 2025” අභ්‍යාසය උපායශීලී සහ අන්තර් ක්‍රියාකාරි ක්ෂේත්‍ර පුහුණු අභ්‍යාස මාලාවකින් සමන්විත වෙන අතර, මෙම අභ්‍යාසය හරහා දෙරට අතර හමුදා සහයෝගීතාව වැඩි දියුණු කිරීම, වෘත්තීය බැඳීම් ශක්තිමත් කිරීම සහ ඒකාබද්ධ ත්‍රස්ත විරෝධී හැකියාවන් වර්ධනය කිරීම සිදුකරනු ලබයි.