9th September 2025
වසර 33 ක කීර්තිමත් යුද්ධ හමුදා සේවා කාලයක් සම්පූර්ණ කර නුදුරේදී විශ්‍රාම දිවියට එළඹෙන 12 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් එච්.ටී.ඩබ්ලිව් විද්‍යානන්ද RWP RSP USP, 2025 සැප්තැම්බර් මස 09 දින යුද්ධ හමුදා මූලස්ථානයේදී යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් ලසන්ත රොද්‍රිගෝ RSP ctf-ndu psc IG හමුවිය.
විශ්‍රාම දිවියට පා තබන ජ්‍යෙෂ්ඨ නිලධාරි පිළිබඳව කෙටි හැඳින්වීමක් පහතින් දැක්වේ:
වර්ෂ 1991 දෙසැම්බර් මස 09 දින ශ්‍රී ලංකා යුද්ධ හමුදා නිත්‍ය බලකාය වෙත බැඳුනු මේජර් ජෙනරල් එච්.ටී.ඩබ්ලිව් විද්‍යානන්ද RWP RSP USP දියතලාව, ශ්‍රී ලංකා යුද්ධ හමුදා විද්‍යාපීඨයෙන් කෙඩෙට් නිලධාරි කෙටි කාලීන පාඨමාලා අංක 3 සාර්ථකව අවසන් කිරීමෙන් අනතුරුව දෙවන ලුතිනන් නිලයේ අධිකාරියට පත්ව වර්ෂ 1992 දෙසැම්බර් මස 19 දින ගජබා රෙජිමේන්තුව වෙත අනුයුක්ත කෙරිණි. යුද්ධ හමුදා සේවා කාලය තුළ ක්‍රමානුකූලව උසස්වීම් ලද මෙම ජ්‍යෙෂ්ඨ නිලධාරි 2025 පෙබරවාරි මස 28 දින මේජර් ජෙනරල් නිලයට උසස්වීම් ලැබීය. 2025 සැප්තැම්බර් 15 දිනට වයස අවුරුදු 55 සම්පූර්ණ වීමත් සමඟ යුද්ධ හමුදා නිත්‍ය බලකායෙන් විශ්‍රාම ලබන එම ජ්‍යෙෂ්ඨ නිලධාරි විශ්‍රාම ලබන විට 12 පාබල සේනාංකයේ සේනාංකාධිපති ධූරය හෙබවිය.
විශ්‍රාම දිවියට පා තබන තත් ජ්‍යෙෂ්ඨ නිලධාරි විසින් සිය කීර්තිමත් හමුදා දිවිය තුළදී 3 බලඇණිය ගජබා රෙජිමේන්තුවේ ඛණ්ඩභාර නිලධාරි, බුද්ධි නිලධාරි සහ නිලධාරි අණදෙන, ජෙනරාල් සර් ජෝන් කොතලාවල ආරක්‍ෂක විද්‍යාපීඨයේ ඛණ්ඩභාර නිලධාරි, 1 බලඇණිය ගජබා රෙජිමේන්තුවේ නිලධාරි අණදෙන සහ හයිටි රාජ්‍යයේ එක්සත් ජාතීන්ගේ බහුවිධ ඒකාබද්ධ ස්ථායිතාවය ඇති කිරීමේ මෙහෙයුම් මූලස්ථානයේ ශ්‍රී ලංකා බලඇණියේ නිලධාරි අණදෙන, ගජබා රෙජිමේන්තු මධ්‍යස්ථානයේ මාණ්ඩලික නිලධාරි II (පාලන), කාර්ය සාධක බලකාය 1 හි ප්‍රධාන මාණ්ඩලික නිලධාරි II (මෙහෙයුම්) සහ 3 බලඇණිය ගජබා රෙජිමේන්තුවේ දෙවන අණදෙන නිලධාරි, නෙළුගල කැලෑබද පුහුණු කඳවුරේ පුහුණු හා ආරක්‍ෂක සම්බන්ධීකරණ නිලධාරි, 10 බලඇණිය ගජබා රෙජිමේන්තුවේ අණදෙන නිලධාරි, කොළඹ 04 කලාපයේ කලාප අණදෙන නිලධාරි, යුද්ධ හමුදා මූලස්ථානයේ සුභසාධන අධ්‍යක්‍ෂ මණ්ඩලයේ මාණ්ඩලික නිලධාරි I (සුභසාධන අරමුදල), 59 පාබල සේනාංකයේ ප්‍රධාන මාණ්ඩලික නිලධාරි I (මෙහෙයුම්) සහ යුද්ධ හමුදා මූලස්ථානයේ ජනමාධ්‍ය අධ්‍යක්‍ෂ මණ්ඩලයේ මාණ්ඩලික නිලධාරි I සහ අතිරේක කර්නල් (ජනමාධ්‍ය), 593 පාබල බලසේනාවේ කාර්යයේ නියුතු බලසේනාධිපති, ගජබා රෙජිමේන්තු මධ්‍යස්ථානයේ මධ්‍යස්ථාන සේනාවිධායක, යුද්ධ හමුදා මූලස්ථානයේ පිරිස් පරිපාලන අධ්‍යක්‍ෂ මණ්ඩලයේ අධ්‍යක්‍ෂ සහ අධ්‍යක්‍ෂ ජෙනරාල්, යුද්ධ හමුදා මූලස්ථානයේ සමස්ත ආරක්‍ෂක සම්බන්ධීකාරක සහ 12 පාබල සේනාංකයේ සේනාංකාධිපති වැනි ධූරයන් රැසක් හොබවන ලදී.
එසේම, යුද්ධ හමුදා සේවා කාලය තුළදී දැක්වූ කැපවීම සහ නිර්භීතකම අගයමින් එම ජ්‍යෙෂ්ඨ නිලධාරි රණ වික්‍රම පදක්කමෙන්, රණ ශූර පදක්කමෙන් සහ උත්තම සේවා පදක්කමෙන් පිදුම් ලබන ලදී.
මෙම ජ්‍යෙෂ්ඨ නිලධාරි විසින් සිය යුද්ධ හමුදා සේවා කාලය තුළදී කාලතුවක්කු නිරීක්‍ෂණ පාඨමාලාව, මූලික බුද්ධි නිලධාරින්ගේ පාඨමාලාව, මූලික පැරෂුට් පාඨමාලාව, කනිෂ්ඨ අණදෙන්නන්ගේ පාඨමාලාව සහ එක්සත් ජාතීන්ගේ සාම සාධක පූර්ව ස්ථානගත කිරීමේ පුහුණු පාඨමාලාව, තරුණ නිලධාරින්ගේ උපාය මාර්ගික පාඨමාලාව - පකිස්ථාන, කනිෂ්ඨ අණදෙන්නන්ගේ පාඨමාලාව - ඉන්දියාව, ජ්‍යෙෂ්ඨ මාණ්ඩලික සහ උපක්‍රම III ශ්‍රේණියේ පාඨමාලාව - මැලේසියා ඇතුළු දේශීය මෙන්ම විදේශීය පුහුණු පාඨමාලා රැසක් හදාරන ලදී. තවද, මෙම ජ්‍යෙෂ්ඨ නිලධාරි රුසියාවේ පැවති “West - 2021” උපායමාර්ගික අණදෙන පශ්චාත් අභ්‍යාසයට ද සහභාගි විය.