විශ්‍රාම දිවියට පා තබන ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ සේවය යුද්ධ හමුදාධිපතිතුමන්ගේ පැසසුමට

වසර 34 ක කීර්තිමත් යුද්ධ හමුදා සේවා කාලයක් සම්පූර්ණ කර නුදුරේදී විශ්‍රාම දිවියට එළඹෙන 24 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් එච්.සී.එල් ගලප්පත්ති RSP USP, 2025 අගෝස්තු මස 21 දින යුද්ධ හමුදා මූලස්ථානයේදී යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් ලසන්ත රොද්‍රිගෝ RSP ctf-ndu psc IG හමුවිය.

විශ්‍රාම දිවියට පා තබන ජ්‍යෙෂ්ඨ නිලධාරි පිළිබඳව කෙටි හැඳින්වීමක් පහතින් දැක්වේ:

වර්ෂ 1991 ජනවාරි මස 02 දින ශ්‍රී ලංකා යුද්ධ හමුදා නිත්‍ය බලකාය වෙත බැඳුනු මේජර් ජෙනරල් එච්.සී.එල් ගලප්පත්ති RSP USP දියතලාව, ශ්‍රී ලංකා යුද්ධ හමුදා විද්‍යාපීඨයෙන් කෙඩෙට් නිලධාරි පාඨමාලා අංක 35 සාර්ථකව අවසන් කිරීමෙන් අනතුරුව දෙවන ලුතිනන් නිලයේ අධිකාරියට පත්ව වර්ෂ 1992 අගෝස්තු මස 29 දින ගැමුණු හේවා බලකාය වෙත අනුයුක්ත කෙරිණි. යුද්ධ හමුදා සේවා කාලය තුළ ක්‍රමානුකූලව උසස්වීම් ලද මෙම ජ්‍යෙෂ්ඨ නිලධාරි 2024 සැප්තැම්බර් මස 30 දින මේජර් ජෙනරල් නිලයට උසස්වීම් ලැබීය.

2025 අගෝස්තු මස 28 දිනට වයස අවුරුදු 55 සම්පූර්ණ වීමත් සමඟ යුද්ධ හමුදා නිත්‍ය බලකායෙන් විශ්‍රාම ලබන ජ්‍යෙෂ්ඨ නිලධාරි විශ්‍රාම ලබන විට 24 පාබල සේනාංකයේ සේනාංකාධිපති ධූරය හෙබවිය.

විශ්‍රාම දිවියට පා තබන තත් ජ්‍යෙෂ්ඨ නිලධාරි විසින් සිය කීර්තිමත් හමුදා දිවිය තුළදී 8 බලඇණිය ගැමුණු හේවා බලකායේ ඛණ්ඩභාර නිලධාරි, 8 බලඇණිය ගැමුණු හේවා බලකායේ නිලධාරි අණදෙන, ගැමුණු හේවා බලකා රෙජිමේන්තු මධ්‍යස්ථානයේ ප්‍රධාන මාණ්ඩලික නිලධාරි III, 11 බලඇණිය ගැමුණු හේවා බලකායේ නිලධාරි අණදෙන, ඒකාබද්ධ මෙහෙයුම් මූලස්ථානයේ මාණ්ඩලික නිලධාරි II (සම්බන්ධීකරණ), ගැමුණු හේවා බලකා රෙජිමේන්තු මධ්‍යස්ථානයේ මාණ්ඩලික නිලධාරි II (භටකාර්ය සම්පාදන), හයිටි රාජ්‍යයේ එක්සත් ජාතීන්ගේ බහුවිධ ඒකාබද්ධ ස්ථායිතාවය ඇති කිරීමේ මෙහෙයුම් මූලස්ථානයේ ශ්‍රී ලංකා බලඇණියේ නිලධාරි අණදෙන, 19 බලඇණිය ගැමුණු හේවා බලකායේ දෙවන අණදෙන නිලධාරි, 56 පාබල සේනාංකයේ ප්‍රධාන මාණ්ඩලික නිලධාරි I (ක්‍රියාන්විත), 5 බලඇණිය ගැමුණු හේවා බලකායේ අණදෙන නිලධාරි, යුද්ධ හමුදා මූලස්ථාන පුහුණු අධ්‍යක්‍ෂ මණ්ඩලයේ ප්‍රධාන මාණ්ඩලික නිලධාරි I (දේශීය පුහුණු), ආරක්‍ෂක සේනා මූලස්ථාන - යාපනය ප්‍රධාන මාණ්ඩලික නිලධාරි I (සම්බන්ධීකරණ), යුද්ධ හමුදා මූලස්ථාන ජනමාධ්‍ය අධ්‍යක්‍ෂක මණ්ඩලයේ මාණ්ඩලික නිලධාරි I, 62 පාබල සේනාංකයේ කර්නල් (ප්‍රධාන මාණ්ඩලික), 682 පාබල බලසේනාවේ බලසේනාධිපති, යුද්ධ හමුදා මූලස්ථානයේ පර්යේෂණ, සංකල්ප සහ මූලධර්ම අධ්‍යක්‍ෂක මණ්ඩලයේ පර්යේෂණ, විශ්ලේෂණ, යෝජනා සහ සංවර්ධන අංශයේ ප්‍රධානි, ගැමුණු හේවා බලකා රෙජිමේන්තු මධ්‍යස්ථානයේ මධ්‍යස්ථාන සේනාවිධායක සහ 24 පාබල සේනාංකයේ සේනාංකාධිපති වැනි ධූරයන් රැසක් හොබවන ලදී.

යුද්ධ හමුදාවට එම ජ්‍යෙෂ්ඨ නිලධාරි කළ කැපවූ සහ නිර්භීත සේවය අගයමින් රණ වික්‍රම පදක්කම සහ උත්තම සේවා පදක්කමෙන් පිදුම් ලබා ඇත.

මෙම ජ්‍යෙෂ්ඨ නිලධාරි විසින් මෝටර් රථ ප්‍රවාහන නිලධාරින්ගේ පාඨමාලාව, බලඇණි ආධාරක අවි නිලධාරින්ගේ පාඨමාලාව, ප්‍රගුණ වෙඩික්කරු උපදේශක පාඨමාලාව, ඒකක ගිණුම් නිලධාරින්ගේ පාඨමාලාව, මූලික පැරෂුට් පාඨමාලාව සහ භූගෝලීය තොරතුරු පද්ධතිය සහ යෙදුම් පිළිබඳ උසස් කෙටි පාඨමාලාව (පේරාදෙණිය විශ්ව විද්‍යාලය) ඇතුළු දේශීය පුහුණු පාඨමාලා රැසක් හදාරන ලදී.

එමෙන්ම, තරුණ නිලධාරින්ගේ පාබල පාඨමාලාව - බංග්ලාදේශය, කනිෂ්ඨ අණදෙන්නන්ගේ පාඨමාලාව - ඉන්දියාව සහ ජාත්‍යන්තර ආරක්‍ෂක කළමනාකරණ පාඨමාලාව - ඇමරිකා එක්සත් ජනපදය වැනි විදේශීය පාඨමාලාවන් ද එම ජ්‍යෙෂ්ඨ නිලධාරි විසින් හදාරන ලදී.