විශ්‍රාම දිවියට එළඹෙන ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ සේවය යුද්ධ හමුදාධිපතිතුමන්ගේ පැසසුමට

වසර 35 කට අධික කීර්තිමත් යුද්ධ හමුදා සේවා කාලයක් සම්පූර්ණ කර නුදුරේදී විශ්‍රාම දිවියට එළඹෙන පර්යේෂණ සංකල්ප හා මූලධර්ම අධ්‍යක්‍ෂ මණ්ඩලයේ අධ්‍යක්‍ෂ ජෙනරාල් මේජර් ජෙනරල් ඒ.එම්.සී.පී විජයරත්න RWP RSP nps psc, 2025 දෙසැම්බර් මස 30 දින යුද්ධ හමුදා මූලස්ථානයේදී යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් ලසන්ත රොද්‍රිගෝ RSP ctf-ndu psc IG හමු විය.

විශ්‍රාම දිවියට එළඹෙන ජ්‍යෙෂ්ඨ නිලධාරි පිළිබඳ කෙටි විස්තරයක් පහතින් දැක්වේ:

1990 සැප්තැම්බර් මස 07 දින කෙඩෙට් නිලධාරි පාඨමාලා අංක පීඑම්ඒ 02 යටතේ ශ්‍රී ලංකා යුද්ධ හමුදා නිත්‍ය බලකාය වෙත බැඳුනු මේජර් ජෙනරල් ඒ.එම්.සී.පී විජයරත්න RWP RSP nps psc, පකිස්ථානු යුද්ධ හමුදා විද්‍යාපීඨයෙන් සහ ශ්‍රී ලංකා යුද්ධ හමුදා විද්‍යාපීඨයෙන් යුද්ධ හමුදා පුහුණුව සාර්ථකව නිම කිරීමෙන් පසු දෙවන ලුතිනන් නිලයට අධිකාරියට පත්ව වර්ෂ 1991 මාර්තු මස 13 දින ශ්‍රී ලංකා පාබල හමුදාව වෙත අනුයුක්ත කෙරිණි.

යුද්ධ හමුදා සේවා කාලය තුළ ක්‍රමානුකූලව උසස්වීම් ලද මෙම ජ්‍යෙෂ්ඨ නිලධාරි 2024 දෙසැම්බර් මස 27 දින මේජර් ජෙනරල් නිලයට උසස්වීම් ලැබීය. 2026 ජනවාරි මස 02 දිනට වයස අවුරුදු 55 සම්පූර්ණ වීමත් සමඟ යුද්ධ හමුදා නිත්‍ය බලකායෙන් විශ්‍රාම ලබන එම ජ්‍යෙෂ්ඨ නිලධාරි විශ්‍රාම ලබන විට පර්යේෂණ සංකල්ප හා මූලධර්ම අධ්‍යක්‍ෂ මණ්ඩලයේ අධ්‍යක්‍ෂ ජෙනරාල් තනතුර හෙබවීය.

විශ්‍රාම දිවියට පා තබන එම ජ්‍යෙෂ්ඨ නිලධාරි විසින් සිය කීර්තිමත් හමුදා දිවිය තුළදී 1 වන බලඇණිය ශ්‍රී ලංකා පාබල හමුදාවේ ඛණ්ඩභාර නිලධාරි, නිලධාරි අණදෙන, විධායක අධිකාරි සහ නිලධාරි අණදෙන, යුද්ධ හමුදා මූලස්ථානය ජනමාධ්‍ය අධ්‍යක්‍ෂ මණ්ඩලයේ මාණ්ඩලික නිලධාරි II (අතිරේක), 1 වන බලඇණිය ශ්‍රී ලංකා පාබල හමුදාවේ නිලධාරි අණදෙන, වැඩ බලන දෙවන අණදෙන නිලධාරි සහ නිලධාරි අණදෙන, යුද්ධ හමුදා අණ සහ මාණ්ඩලික විද්‍යාලයේ මාණ්ඩලික නිලධාරි II (පුහුණුව සහ ආධාරක), හයිටි රාජ්‍යයේ බහුවිධ ඒකාබද්ධ ස්ථායිතාවය ඇති කිරීමේ මෙහෙයුම් මූලස්ථානයේ ශ්‍රී ලංකා බලඇණියේ නිලධාරි අණදෙන, 15 වන බලඇණිය ශ්‍රී ලංකා පාබල හමුදාවේ දෙවන අණදෙන නිලධාරි, 12 වන බලඇණිය ශ්‍රී ලංකා පාබල හමුදාවේ අණදෙන නිලධාරි, හයිටි රාජ්‍යයේ බහුවිධ ඒකාබද්ධ ස්ථායිතාවය ඇති කිරීමේ මෙහෙයුම් මූලස්ථානයේ නියෝජ්‍ය ප්‍රධාන හමුදා පුද්ගල නිලධාරි U– 1, ශ්‍රී ලංකා පාබල හමුදාවේ රෙජිමේන්තු මධ්‍යස්ථානයේ මාණ්ඩලික නිලධාරි I (පාලන), ජෙනරාල් සර් ජෝන් කොතලාවල ආරක්‍ෂක විශ්ව විද්‍යා‍ලයේ පර්යේෂණ සම්බන්ධීකාරක වැනි ධූරයන් රැසක් හොබවන ලදී.

එමෙන්ම, මෙම ජ්‍යෙෂ්ඨ නිලධාරි ආරක්‍ෂක සේනා මූලස්ථානය - නැගෙනහිර කර්නල් (ප්‍රධාන මාණ්ඩලික), යුද්ධ හමුදා මූලස්ථානයේ ප්‍රධාන මාණ්ඩලික ශාඛාවේ කර්නල් (ප්‍රධාන මාණ්ඩලික), 622 පාබල බලසේනාවේ කාර්යයේ නියුක්ත බලසේනාධිපති, ආරක්‍ෂක අමාත්‍යංශ ජාතික බුද්ධි ප්‍රධානී කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ මාණ්ඩලික නිලධාරි, 221 පාබල බලසේනාවේ බලසේනාධිපති, යුද්ධ හමුදා මූලස්ථානයේ ඉඩම් දේපල හා භටනිවාස අධ්‍යක්‍ෂ මණ්ඩලයේ බ්‍රිගේඩියර් (සම්බන්ධීකරණ) - ත්‍රිවිධ හමුදා ඉඩම් (උතුරු සහ නැගෙනහිර), 54 පාබල සේනාංකයේ සේනාංකාධිපති, යුද්ධ හමුදා මූලස්ථානයේ පර්යේෂණ සංකල්ප හා මූලධර්ම අධ්‍යක්‍ෂ මණ්ඩලයේ අධ්‍යක්‍ෂ ජෙනරාල් වැනි ධූරයන් ද හොබවන ලදී.

එසේම, යුද්ධ හමුදා සේවා කාලය තුළදී දැක්වූ කැපවීම සහ ආදර්ශමත් සේවය අගයමින් එම ජ්‍යෙෂ්ඨ නිලධාරි රණ වික්‍රම පදක්කමෙන් සහ රණ ශූර පදක්කම පදක්කමෙන් (තෙවරක්) පිදුම් ලැබීය.

මෙම ජ්‍යෙෂ්ඨ නිලධාරි විසින් සිය යුද්ධ හමුදා සේවා කාලය තුළදී බලඇණි ආධාරක අවි සංස්කරණ පාඨමාලාව, ඉගැන්වීමේ ක්‍රම වේදය උපදේශක පාඨමාලාව, ආරක්‍ෂක සේවා අණ සහ මාණ්ඩලික පාඨමාලාව වැනි දේශීය පාඨමාලාවන් රැසක් ද හදාරන ලදී.

එමෙන්ම, මෙම ජ්‍යෙෂ්ඨ නිලධාරි විසින් තරුණ නිලධාරින්ගේ පාඨමාලාව - ඉන්දියාව, බලඇණි ආධාරක අවි නිලධාරින්ගේ පාඨමාලාව - ඉන්දියාව, මධ්‍ය වෘත්තීය පාඨමාලාව - පාකිස්ථානය, මූලික පැරෂුට් පාඨමාලාව - ඉන්දියාව වැනි විදේශීය පාඨමාලාවන් රැසක් ද හදාරන ලදී.

විශ්‍රාම දිවියට පා තබන එම ජ්‍යෙෂ්ඨ නිලධාරි විසින් කැලණිය විශ්වවිද්‍යාලයෙන් ආරක්‍ෂක අධ්‍යයනය පිළිබඳ ශාස්ත්‍රපති උපාධිය, ඇමරිකා එක්සත් ජනපදයේ කැලිෆෝනියාවේ මොන්ටෙරේ හි නාවික පශ්චාත් උපාධි පාසලේ ආරක්‍ෂක අධ්‍යයනය පිළිබඳ ශාස්ත්‍රපති උපාධිය (සිවිල්-හමුදා සබඳත‍ා) ආදී සුදුසුකම්ද ලබාගෙන ඇත.