3rd March 2026
වසර 33 කට අධික කීර්තිමත් යුද්ධ හමුදා සේවා කාලයක් සම්පූර්ණ කර නුදුරේදී විශ්‍රාම දිවියට එළඹෙන යුද්ධ හමුදා තත්ත්ව ආරක්‍ෂන හා පිරික්සුම් අධ්‍යක්‍ෂ ජෙනරාල් මේජර් ජෙනරල් එල්.එස්.ඩී.එන්. පතිරත්න RSP USP, 2026 මාර්තු මස 03 දින යුද්ධ හමුදා මූලස්ථානයේදී යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් ලසන්ත රොද්‍රිගෝ RSP ctf-ndu psc IG හමුවිය.
විශ්‍රාම දිවියට එළඹෙන ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ විස්තරය පහත පරිදි වෙයි:
1993 ජනවාරි මස 04 දින කෙඩෙට් නිලධාරි පාඨමාලා අංක 39 යටතේ ශ්‍රී ලංකා යුද්ධ හමුදා නිත්‍ය බලකාය වෙත බැඳුනු මේජර් ජෙනරල් එල්.එස්.ඩී.එන්. පතිරත්න RSP USP දියතලාව, ශ්‍රී ලංකා යුද්ධ හමුදා විද්‍යාපීඨයෙන් යුද්ධ හමුදා පුහුණුව සාර්ථකව නිම කිරීමෙන් අනතුරුව දෙවන ලුතිනන් නිලයට අධිකාරියට පත්ව වර්ෂ 1994 අප්‍රේල් මස 09 දින ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකාය වෙත අනුයුක්ත කෙරිණි.
යුද්ධ හමුදා සේවා කාලය තුළ ක්‍රමානුකූලව උසස්වීම් ලද මෙම ජ්‍යෙෂ්ඨ නිලධාරි 2026 ජනවාරි මස 26 දින මේජර් ජෙනරල් නිලයට උසස්වීම් ලැබීය. 2026 මාර්තු මස 09 දිනට වයස අවුරුදු 55 සම්පූර්ණ වීමත් සමඟ යුද්ධ හමුදා නිත්‍ය බලකායෙන් විශ්‍රාම ලබන එම ජ්‍යෙෂ්ඨ නිලධාරි යුද්ධ හමුදා මූලස්ථානයේ තත්ත්ව ආරක්‍ෂන හා පිරික්සුම් අධ්‍යක්‍ෂ ජෙනරාල් ධූරය හෙබවයි.
විශ්‍රාම දිවියට පා තබන එම ජ්‍යෙෂ්ඨ නිලධාරි විසින් සිය කීර්තිමත් හමුදා දිවිය තුළදී, 5 වන විමර්ෂණ රෙජිමේන්තුව ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකායේ Bravo බලඝණයේ රැලි භාර නිලධාරි, 5 වන විමර්ෂණ රෙජිමේන්තුව ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකායේ කාර්මික අධිකාරි, 5 වන විමර්ෂණ රෙජිමේන්තුව ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකායේ සහකාර විධායක අධිකාරි සහ විධායක අධිකාරි, 5 වන විමර්ෂණ රෙජිමේන්තුව ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකායේ බී බලඝණයේ කාර්යයේ නියුක්ත නිලධාරි අණදෙන, බළඝණ දෙවන අණදෙන නිලධාරි 5 වන විමර්ෂණ රෙජිමේන්තුව ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකාය, 5 වන විමර්ෂණ රෙජිමේන්තුව ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකායේ ඒ බලඝණයේ කාර්යයේ නියුක්ත නිලධාරි අණදෙන, 1 වන විමර්ෂණ රෙජිමේන්තුව ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකායේ බී බලඝණයේ කාර්යයේ නියුක්ත නිලධාරි අණදෙන සහ ජනාධිපති ආරක්‍ෂක ඒකකයේ ඩී බලඝණයේ නිලධාරී අණදෙන වැනි ධූරයන් හොබවන ලදී.
තවඳ, මෙම ජ්‍යෙෂ්ඨ නිලධාරි විසින් සිය කීර්තිමත් යුද්ධ හමුදා සේවා කාලය තුළදී ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකා රෙජිමේන්තු මධ්‍යස්ථානයේ මාණ්ඩලික නිලධාරි 1 (භඨකාර්ය සම්පාදක), 8 වන (ආධාරක) රෙජිමේන්තුව ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකායේ අණදෙන නිලධාරි, යුද්ධ හමුදා මූලස්ථානයේ තත්ත්ව ආරක්‍ෂන හා පිරික්සුම් අධ්‍යක්‍ෂ මණ්ඩලයේ මාණ්ඩලික නිලධාරි 1, 55 පාබල සේනාංකයේ ප්‍රධාන මාණ්ඩලික නිලධාරි 1 (සම්බන්ධීකරණ) සහ ප්‍රධාන මාණ්ඩලික නිලධාරි 1 (ක්‍රියාන්විත), 55 පාබල සේනාංකයේ කර්නල් (සම්බන්ධීකරණ), 22 පාබල සේනාංකයේ කර්නල් (පාලන සහ භඨකාර්ය සම්පාදක), 62 පාබල සේනාංකයේ කර්නල් (ප්‍රධාන මාණ්ඩලික), සන්නද්ධ බලකා පුහුණු මධ්‍යස්ථානයේ සේනාවිධායක, 241 පාබල බලසේනාවේ බලසේනාධිපති සහ යුද්ධ හමුදා මූලස්ථානයේ තත්ත්ව ආරක්‍ෂන හා පිරික්සුම් අධ්‍යක්‍ෂ ජෙනරාල් වැනි ධූරයන් ද හොබවන ලදී.
එසේම, යුද්ධ හමුදා සේවා කාලය තුළදී දැක්වූ කැපවීම සහ නිර්භීතකම අගයමින් එම ජ්‍යෙෂ්ඨ නිලධාරි රණ සූර පදක්කමෙන් සහ උත්තම සේවා පදක්කමෙන් පිදුම් ලැබීය.
එමෙන්ම, මෙම ජ්‍යෙෂ්ඨ නිලධාරි විසින් පාබල හමුදා තරුණ නිලධාරී පාඨමාලාව, ඒකක පරිපාලන පාඨමාලාව, සන්නාහ තරුණ නිලධාරී පාඨමාලාව, ඒකක ගිණුම් නිලධාරී පාඨමාලාව, උසස් ඒකක ගිණුම් පාඨමාලාව, ඒකක බුද්ධි නිලධාරී පාඨමාලාව, කනිෂ්ඨ මාණ්ඩලික පාඨමාලාව, නිරීක්‍ෂණ සහ මාණ්ඩලික නිලධාරී පාඨමාලාව සහ එක්සත් ජාතීන්ගේ සිවිල් වැසියන් ආරක්‍ෂා කිරීමේ පාඨමාලාව වැනි පාඨමාලාවන් රැසක් ද හදාරන ලදී.
එසේම මෙම ජ්‍යෙෂ්ඨ නිලධාරි විසින් සන්නාහ සන්නද්ධ බලකා තරුණ නිලධාරී මූලික පාඨමාලාව - පාකිස්ථානය, යුධෝපකරණ උපදේශක නිලධාරී පාඨමාලාව - ඉන්දියාව, මධ්‍යම වෘත්තීය පාඨමාලාව හා සම්බන්ධ කනිෂ්ඨ මාණ්ඩලික නිලධාරි පාඨමාලාව - පාකිස්ථානය, සටන් කණ්ඩායම් අණදෙන නිලධාරී පාඨමාලාව - ඉන්දියාව වැනි විදේශීය පාඨමාලාවන් රැසක් ද හදාරන ලදී.