23rd October 2025
යුද්ධ හමුදාධිපතිතුමන්ගේ මඟපෙන්වීම යටතේ, රණවිරු සේවා හා පුනරුත්ථාපන අධ්‍යක්‍ෂ මණ්ඩලය සහ යුද්ධ හමුදා සේවා වනිතා ඒකකය එක්ව පුත්තලම දිස්ත්‍රික්කයේ පදිංචි යුද්ධ හමුදා රණවිරුවන්ගේ සෞඛ්‍ය අවශ්‍යතා සපුරාලීමේ අරමුණින් එම ප්‍රදේශයේ රණක්‍ෂිතයට පත් විශ්‍රාමික හමුදා සාමාජිකයන් සහ මියගිය රණවිරුවන්ගේ පවුල්වල සාමාජිකයන් සඳහා 2025 ඔක්තෝබර් මස 21 දින 58 පාබල සේනාංක මූලස්ථානයේදී බහු විධ වෛද්‍ය සායන කඳවුරක් පවත්වන ලදී.
මෙම අවස්ථාව සඳහා ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගි වූ යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් ලසන්ත රොද්‍රිගෝ RSP ctf-ndu psc IG සමඟින් යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනී ස්වෙන්ද්‍රිනි දිසානායක මහත්මිය ද සහභාගි වූහ. එහිදී ආරක්‍ෂක සේනා ආඥාපති - බටහිර මේජර් ජෙනරල් යූ.කේ.ඩී.ඩී.පී උඩුගම RWP RSP USP ndc psc ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරින් විසින් යුද්ධ හමුදාධිපතිතුමන්ව උණුසුම් ලෙස පිළිගන්නා ලදී.
මෙම වෛද්‍ය සායනය අතරතුරදී, ඇස් කණ්ණාඩි 300 ක්, රෝද පුටු 15 ක්, කිහිලිකරු 100 ක්, වෝකර් යන්ත්‍ර 5 ක් සහ වෛද්‍ය උපකරණ යුද්ධ හමුදාධිපතිතුමන් සහ පැමිණි අනෙකුත් සම්භාවනීය අමුත්තන් විසින් රණක්‍ෂිතයට පත් රණවිරුවන් සඳහා ප්‍රදානය කරන ලදී. තවද, යුද්ධ හමුදා සේවා වනිතා ඒකකය වෙතින් සහභාගී වූ සියලුම දෙනා වෙත දිවා ආහාරය ලබාදෙනු ලැබීය.
මෙම වැඩසටහන මඟින් ආබාධිත විශ්‍රාමික, වෛද්‍ය හේතූන්මත ඉවත්ව ගිය රණවිරුවන් සහ මියගිය රණවිරුවන්ගේ පවුල්වල සාමාජිකයන් ඇතුළු 1,000 කට අධික සංඛ්‍යාවක් සඳහා වෛද්‍ය උපදේශන සේවා, කෘත්‍රිම අවයව නඩත්තු කිරීම, චර්ම රෝග සහ දන්ත සායන, මානසික සෞඛ්‍ය උපදේශන සේවා සහ පෝෂණ උපදේශණ සේවා ලබාදීම සිදුකරන ලදී.
එසේම, මෙම වැඩසටහනට සහභාගී වූවන් සඳහා පවතින ගැටළු විමසා නිරාකරණය කිරීම සඳහා යුද්ධ හමුදා මූලස්ථානයේ අධ්‍යක්‍ෂ මණ්ඩල අධ්‍යක්‍ෂවරුන්, ආරක්‍ෂක අමාත්‍යාංශයේ නිලධාරින්, රණවිරු සේවා අධිකාරියේ සාමාජිකයින්, ජ්‍යෙෂ්ඨ නිලධාරින්, නිලධාරින් සහ සෙසුනිලයන් පිරිසක් සහභාගි වූහ.