6th August 2025
ශ්‍රී ලංකා යුද්ධ හමුදා විද්‍යාපීඨයේ ඩිප්ලෝමා ප්‍රදානෝත්සවය 2025 අගෝස්තු මස 05 දින එම විද්‍යාපීඨයේ සිනෝ - ලංකා මිත්‍රත්ව ශ්‍රවණාගාර පරිශ්‍රයේදී පැවැත්විණි. මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් ලසන්ත රොද්‍රිගෝ RSP ctf-ndu psc IG සහභාගි විය.
මෙම අවස්ථාව සඳහා පැමිණි යුද්ධ හමුදාධිපතිතුමන් ශ්‍රී ලංකා යුද්ධ හමුදා විද්‍යාපීඨයේ සේනාවිධායක මේජර් ජෙනරල් එම්.ජේ.ආර්.එස් මැදගොඩ RSP USP ndc psc IG සමඟින් ජෙනරාල් සර් ජෝන් කොතලාවල ආරක්‍ෂක විශ්වවිද්‍යාලයේ උපකුලපති රියර් අද්මිරාල් එච්.ජී.යූ ධම්මික කුමාර VSV USP psc MMaritimePol BSc (DS) විසින් පිළිගන්නා ලදී.
අනාගත හමුදා නිලධාරින් දිරිගන්වමින් පරම වීර විභූෂණ (PWV) පදක්කම්ලාභී වීරෝදාර රණවිරුවන්ට උපහාර දක්වමින් ‘Wall of the Braves’ විවෘත කිරීමත් සමඟ උත්සවය ආරම්භ කෙරිණි.
මෙම උත්සවය අතරතුරදී, අධ්‍යයන හා හමුදා දිවියේ වැදගත් සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, කෙඩෙට් නිලධාරි පුහුණු පාඨමාලා අංක - 90, 59 (ස්වෙච්ඡා), 17 කාන්තා, 16 (ස්වෙච්ඡා) කාන්තා, 18 කාන්තා, 18A, 60 (ස්වෙච්ඡා), 17 (ස්වෙච්ඡා) කාන්තා, 19 කාන්තා, SC 19, 18 A, 61 (ස්වෙච්ඡා), 61A (ස්වෙච්ඡා) සහ 18 (ස්වෙච්ඡා) කාන්තා පාඨමාලාවන්හි නිලධාරින් හා නිලධාරිනියන් වෙත ඩිප්ලෝමා ප්‍රදානය කෙරිණි.
ඉන් අනතුරුව, රැස්ව සිටි පිරිස ආමන්ත්‍රණය කළ යුද්ධ හමුදාධිපතිතුමන් ඩිප්ලෝමාලාභින් වෙත සිය සුභපැතුම් පිරිනමමින් අනාගතයේ වැඩදායි නායකයන් හැඩගැස්වීමේදී අධ්‍යයන විශිෂ්ඨත්වයේ සහ හමුදා විනයේ පවතින වැදගත්කම පිළිබඳව කරුණු අවධාරණය කළේය.
ශ්‍රී ලංකා යුද්ධ හමුදා විද්‍යාපීඨයේ සේනාවිධායක විසින් ස්තූති කතාව පැවැත්වීමෙන් අනතුරුව, මෙම අවස්ථාව සනිටුහන් කරමින් සමූහ ඡායාරූපයක් ගැනීමෙන් පසුව සමරු තිළිණ හුවමාරුවක් ද සිදුකරන ලදී. උත්සවයේ සමාප්තිය සනිටුහන් කරමින් යුද්ධ හමුදාධිපතිතුමන් විශේෂ අමුත්තන් සඳහා වූ පොතේ සමරු සටහනක් ද තැබීය.