ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනාවේ සේනාවිධායක ඒකක සංචාරයක

ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනාවේ සේනාවිධායක මේජර් ජෙනරල් කේ.වී.එන්.පී ප්‍රේමරත්න RSP USP nps psc 2025 සැප්තැම්බර් මස 4 දින 2 වන ශ්‍රී ලංකා යුද්ධ හමුදා පුරෝගාමී බලකායේ සහ 10 වන ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බලමුළුවේ නිල සංචාරයක නිරත විය.

එම ඒකකයන්හි පරිපාලන හා මෙහෙයුම් කාර්යක්‍ෂමතාවය ශක්තිමත් කිරීමේ අරමුණින් මෙම සංචාරය සිදුකෙරිණි. ඒ අනුව, 2 වන ශ්‍රී ලංකා යුද්ධ හමුදා පුරෝගාමී බලකා මූලස්ථාන පරිශ්‍රය වෙත පැමිණි සේනාවිධායක මේජර් ජෙනරල් කේ.වී.එන්.පී ප්‍රේමරත්න RSP USP nps psc ජ්‍යෙෂ්ඨ නිලධාරීව එම ඒකකයේ අණදෙන නිලධාරි ලුතිනන් කර්නල් ආර්.ඩබ්ලිව්.එල්.ඩී.එල්.ඒ පෙරේරා psc CR විසින් උණුසුම් අයුරින් පිළිගැනීමෙන් අනතුරුව එම ඒකකයේ කාර්යභාරය සහ මෙහෙයුම් කාර්යක්‍ෂමතාවය පිළිබඳව එම ජ්‍යෙෂ්ඨ නිලධාරීව දැනුවත් කරන ලදී. ඉන් අනතුරුව, භටපිරිස් ආමන්ත්‍රණය කළ සේනාවිධායක විනය පවත්වාගැනීමේ වැදගත්කම, අවිධිමත් ක්‍රියා පිළිවෙත් වැළැක්වීම, පක්‍ෂපාතීත්වය සහ වෘත්තීමයභාවය සමඟ යුද්ධ හමුදා සම්ප්‍රදායන් ආරක්‍ෂා කිරීම පිළිබඳව ද අවධාරණය කළේය. සංචාරයේ සමාප්තිය සනිටුහන් කරමින් සමූහ ඡායාරූපයක් ගැනීමෙන් අනතුරුව සේනාවිධායක විශේෂ අමුත්තන් සඳහා වූ පොතේ සමරු සටහනක් තැබීය.

එදින සන්ධ්‍යාවේ, 10 වන ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බලමුළුවේ සංචාරය කළ ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනාවේ සේනාවිධායක එම ඒකකයේ අණදෙන නිලධාරි මේජර් එස්.ඊ.ජේ.සී හේමසිංහ විසින් පිළිගන්නා ලදී. කෙටි සාකච්ඡාවක් පැවැත්වීමෙන් පසුව භටපිරිස් ආමන්ත්‍රණය කළ සේනාවිධායක “ක්ලීන් ශ්‍රී ලංකා” වැඩසටහන සමඟින් කටයුතු කළයුතු බව පැහැදිළි කළේය. එම ඒකක මූලස්ථාන පරිශ්‍රයේ පවතින පහසුකම් පරීක්‍ෂා කළ සේනාවිධායක සමූහ ඡායාරූපයකට පෙනීසිටීමෙන් අනතුරුව සංචාරයේ සමාප්තිය සනිටුහන් කරමින් සියලු නිල තේ පැන් සංග්‍රහයකට ද සහභාගි විය.