ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනා මූලස්ථානයේ සේනාවිධායක ධූරයෙන් නික්ම යයි

ශ්‍රී ලංකා යුද්ධ හමුදා නව මාණ්ඩලික ප්‍රධාන මේජර් ජෙනරල් ඩී.කේ.එස්.කේ. දොලගේ USP nps psc සිය ධූරයේ රාජකාරි භාර ගැනීමට පෙර ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනා මූලස්ථානයේ සේනාවිධායක ධූරය හෙබවිය. එම ධූරයෙන් නික්ම යාම සනිටුහන් කරමින් ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනා මූලස්ථානයේ දී 2025 ජුනි මස 25 දින උත්සවයක් පැවැත් විය.

ප්‍රධාන දොරටුව වෙත පැමිණි සෙනාවිධායක ශ්‍රී ලංකා ස්වේච්ඡා බලසේනා මූලස්ථානයේ නියෝජ්‍ය සේනාවිධායක විසින් උණුසුම් අයුරින් පිළිගැනීමෙන් අනතුරුව, භටපිරිස් විසින් හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු මුර ගෞරවාචාරය පිරිනමන ලදී. අනතුරුව, මව්බිම වෙනුවෙන් දිවිපිදූ කපිතන් සාලිය අලදෙණිය පීඩබ්ලිව්වී ගේ ස්මාරකය වෙත පුෂ්පෝහර දැක්වීය. පසුව ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බලමුළුවේ භටපිරිස් විසින් සම්මාන මුර ගෞරවාචාරය පිරිනමන ලදී.

සේනාවිධායක විසින් ශ්‍රී ලංකා ස්වේච්ඡා බලසේනාවේ භටපිරිස් ආමන්ත්‍රණය කිරීමෙන් අනතුරුව, ශ්‍රී ලංකා ස්වේච්ඡා බලසේනා මූලස්ථානයේ සේනාවිධායක ධූරයෙන් නික්මයාම සනිටුහන් කරමින් සංකේතාත්මකව නිල ලේඛණයට අත්සන තැබීය. තවද කාර්යාලයේදී තම ඡායාරූපය නිරාවරණය කරමින් විශේෂ අමුත්තන්ගේ සටහන් පොතේ සමරු සටහනක් තැබීය. පසුව ජ්‍යෙෂ්ඨ නිලධාරි සමූහ ඡායාරූප සඳහා පෙනී සිටියේය.

මෙම අවස්ථාවට ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනාවේ ජ්‍යෙෂ්ඨ නිලධාරින්, නිලධාරින් සහ සෙසු නිලයන් රැසක් සහභාගි වූහ.