ශ්‍රී ලංකා සංඥා බලකායේ නව බලකාධිපති රාජකාරි අරඹයි

ශ්‍රී ලංකා සංඥා බලකායේ 19 වන බලකාධිපති ලෙස බ්‍රිගේඩියර් කේ.එම්.ජි. බණ්ඩාරනායක USP ndc psc 2025 දෙසැම්බර් මස 01 දින එම රෙජිමේන්තු මධ්‍යස්ථානයේදී සිය ධූරයේ රාජකාරින් භාරගන්නා ලදී.

ප්‍රධාන දොරටව වෙත පැමිණි නව බලකාධිපතිව ශ්‍රී ලංකා සංඥා බලකායේ මධ්‍යස්ථාන සේනාවිධායක බ්‍රිගේඩියර් ආර්.සී. විජේකෝන් USP psc විසින් පිළිගැනීමෙන් අනතුරුව එම රෙජිමේන්තුවේ භට පිරිස් විසින් හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු මුරයේ ගෞරවාචාරය පිරිනැමීමෙන් පසුව දිනයේ වැඩකටයුතු ආරම්භ විය.

අනතුරුව, මව්බිම වෙනුවෙන් දිවිපිදූ රණවිරුවන් සිහිකරමින් එම රෙජිමේන්තුවේ රණවිරු ස්මාරකය වෙත නව බලකාධිපති විසින් පුෂ්පෝපහර දක්වන ලදී. ඉන්පසු, රෙජිමේන්තු සරඹ භූමියේ පැවති සම්මාන පෙළපාලියේ ගෞරවය පිළිගත් නව බලකාධිපති එම අවස්ථාව සනිටුහන් කරමින් සමූහ ඡායාරූපයකට ද පෙනී සිටියේය.

ඉන් අනතුරුව මහා සංඝරත්නයේ සෙත්පිරිත් සජ්ඣායනා මධ්‍යයේ සිය ධූරය භාර ගැනීම සනිටුහන් කරමින් නිල ලේඛනයකට අත්සන් තැබීමෙන් පසුව, එම අවස්ථාව සනිටුහන් කඳවුරු පරිශ්‍රයේ පැළයක් සිටුවන ලදී.

පසුව පැවති තේ පැන් සංග්‍රහයේදී, සියලුම නිලයන්ට බලකාධිපති සමඟ සුහඳ පිළිසඳරක නිරත වීමට අවස්ථාව ලබා දෙන ලදී. අනතුරුව, බලකාධිපති විසින් සියලුම නිලයන් අමතමින්, යුද්ධ හමුදාධිපතිතුමන්ගේ ඉදිරි දැක්මට අනුකූලව ශ්‍රී ලංකා සංඥා බලකායේ අනාගතය පිළිබඳ තම දැක්ම අවධාරණය කරන ලදී.

ඉන් අනතුරුව, ශ්‍රී ලංකා සංඥා බලකායේ බලකාධිපති විසින් සම්මන්ත්‍රණ ශාලාවේදී අණදෙන නිලධාරීන් සහ සභා සාමාජිකයන් ඇතුළු සියලුම නිලධාරින් ආමන්ත්‍රනය කරන ලදී.

රෙජිමේන්තු නිලධාරී භෝජනාගාරයේ පැවති කාර්ය මණ්ඩල දිවා භෝජන සංග්‍රහයකින් දිනයේ වැඩකටයුතු අවසන් විය.