5th November 2025
ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බලමුළුවේ 35 වන සංවත්සර දිනය කුරුණෑගල රෙජිමේන්තු මධ්‍යස්ථානයේදී 2025 නොවැම්බර් මස 01 දින අභිමානවත් අයුරින් සමරනු ලැබීය.
සැමරුම් උත්සවයේ කටයුතු 2025 ඔක්තෝබර් මස 29 දින රෙජිමේන්තුවේ රණවිරු ස්මාරකය අභියස පැවති රණවිරු සැමරුම් උත්සවයෙන් ආරම්භ විය. එහිදී මව්බිම වෙනුවෙන් දිවි පිදූ වීරෝදාර රණවිරුවන් 82 දෙනෙකුට ඔවුන්ගේ පවුල් සාමාජිකයන් ඉදිරියේදී උපහාර දක්වන ලදී. අනතුරුව පසු දින මහා සංඝරත්නය උදෙසා දානමය පිංකමක් පැවැත්වීම සහ කුරුණෑගල හින්දු කෝවිල, මැලේ ජුම්මා පල්ලිය සහ පාතිමා අප ස්වාමිදූන්ගේ දේවස්ථානයේදී සර්ව ආගමික ධජ ආශිර්වාද කිරීමේ උත්සවයක් ඇතුළු ආගමික වතාවත් සිදු කරණ ලදී.
සංවත්සර දිනයේදී, ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බලමුළුවේ රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරල් ජේ.එස්.බී.ඩබ්ලිව් පල්ලෙකුඹුර RWP RSP ndu psc වෙත එම රෙජිමේන්තුවේ භටපිරිස් විසින් හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු මුරයක් සහ සම්මාන මුරයක් පිරිනමන ලදී. අනතුරුව රෙජිමේන්තු අධිපති සමූහ ඡායාරූපයකට මෙන්ම සියලු නිල දිවා භෝජන සංග්‍රහයට සහ සංගීත වැඩසටහනකට එක් විය.
ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බලමුළු සේවා වනිතා ශාඛාවේ සභාපතිනිය සහ සාමාජිකාවන්, ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ සෙසුනිලයන් රැසක් මෙම සැමරුම් උත්සවයට සහභාගී වූහ.