ශ්‍රී ලංකා ඉංජිනේරු බලකායේ නව බලකාධිපති රාජකාරි අරඹයි

ශ්‍රී ලංකා ඉංජිනේරු බලකායේ 24 වන බලකාධිපති ලෙස මේජර් ජෙනරල් ඩී.කේ.එස්.කේ දොලගේ USP nps psc ජ්‍යෙෂ්ඨ නිලධාරි 2025 ජුනි මස 23 දින පනාගොඩ පිහිටි එම රෙජිමේන්තු මධ්‍යස්ථානයේදී හමුදා සම්ප්‍රදායානුකූලව සිය ධූරයේ රාජකාරි කටයුතු භාරගන්නා ලදී.

රෙජිමේන්තු මධ්‍යස්ථානය වෙත පැමිණි මේජර් ජෙනරල් ඩී.කේ.එස්.කේ දොලගේ USP nps psc එම රෙජිමේන්තුවේ මධ්‍යස්ථාන සේනාවිධායක විසින් උණුසුම් අයුරින් පිළිගැනීමෙන් අනතුරුව භටපිරිස් විසින් එම ජ්‍යෙෂ්ඨ නිලධාරි වෙත හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු මුරයක් පිරිනැමීය. පසුව, නව බලකාධිපති එම රෙජිමේන්තු රණවිරු ස්මාරකය අභියසදී දිවංගත රණවිරුවන් වෙනුවෙන් පුෂ්පෝපහාර පුදකළේය.

ඉන් අනතුරුව, නව බලකාධිපතිතුමන් එම රෙජිමේන්තු මන්ත්‍රණ සභාවේ සාමාජිකයන් සහ සියලුම නිලධාරින් ආමන්ත්‍රණය කරමින් එම රෙජිමේන්තු සාමාජිකයන්ගේ එකමුතුකම, ක්‍රියාන්විත විශිෂ්ඨත්වය සහ රෙජිමේන්තුවේ ප්‍රවර්ධනය තවදුරටත් ශක්තිමත් කිරීම උදෙසා එතුමන් සතු දැක්ම සහ ප්‍රධාන අරමුණු පිළිබඳව පැහැදිළි කළේය.

උත්සවයේ සමාප්තිය සනිටුහන් කරමින් නිලධාරි නිවස්නයේදී සුහඳ තේ පැන් සංග්‍රහයක් පැවැත්විණි.