රාවණා ඇල්ල බස්රථ අනතුරෙහි මඟීන් බේරාගැනීම සඳහා විශේෂ බලකා සාමාජිකයෙකු සිය ජීවිතය පරදුවට තබයි

ඇල්ල-වැල්ලවාය ප්‍රධාන මාර්ගයේ රාවණා ඇල්ල අසළ ඊයේ (04) දින සන්ධ්‍යාවේ සිදු වූ බස්රථ අනතුරෙහි මුදවාගැනීමේ මෙහෙයුම් සඳහා සහයෝගය දැක්වූ රාජකාරියෙන් බැහැරව නිවාඩු ලබාසිටි 2 වන විශේෂ බලකා රෙජිමේන්තුවේ ලාන්ස් කෝප්‍රල් ඩබ්ලිව්.එම්.වී.එම් බණ්ඩාර එම මෙහෙයුම අතරතුරදී හිසට දරුණු ලෙස තුවාල ලැබූ අතර ඔහු මෙම මෙහෙයුම අතරතුරදී ජීවිත තුනක් බේරාගැනීමට සමත්විය.

බස් රථ අනතුරත් සමඟ මුදවාගැනීමේ මෙහෙයුම් සඳහා ප්‍රථම යුද්ධ හමුදා කණ්ඩායම රාත්‍රී 9.20 ට පමණ එම ස්ථානය වෙත යනු ලැබීය. ඒ වනවිටත් විශාල පිරිසක් එම ස්ථානයේ රැස්ව සිටි අතර, ඔවුන් අතර විශේෂ බලකායේ ටී-ෂර්ට් එකක් ඇඳ සිටි තරුණයෙක් ද සිටි අතර, ඔහු මුදවාගැනීමේ මෙහෙයුම් වලදී ප්‍රදේශවාසී තරුණයින් කණ්ඩායමක් වෙත අවශ්‍ය මඟපෙන්වමින් ලබාදෙමින් සිටින ලදී.

බස්රථය පෙරළී ගොස් පැවති ස්ථානයට ප්‍රවේශවීම දුෂ්කර මාර්ගයක් ඔස්සේ සිදුකළ යුතුව තිබූ අතර එම ස්ථානයේ සිරුරු හතරක් සහ අනතුරට පත් බස් රථයට ඉහළින් පැවති බැම්ම තුළ තුවාල ලැබූ මඟීන් තිදෙනෙකු සිරවී සිට ඇත. සුවිශේෂී හැකියාවන් පෙන්නුම් කරමින්, මෙම වීරෝදාර යුද්ධ හමුදා සාමාජිකයා සිය ජීවිතය පරදුවට තබා එම ස්ථානය වෙත ගොස් අනතුරට පත් සියලු මඟීන් ආරක්‍ෂිත ස්ථානයක් වෙත රැගෙන ඒමට කටයුතු කර ඇත.

තුවාල ලැබූ මඟියෙකු එසවීම සඳහා ඔහුගේ සිරුර වටා බැඳ තිබූ කඹයක් භාවිතා කරමින් සිටියදී, එම රණවිරුවාගේ හිසට ගලක් වැදී දරුණු ලෙස තුවාල විය. කෙසේ වෙතත්, සියලු මඟීන් ආරක්‍ෂිතව ඉවත් කරන තෙක් සිය වේදනාව නොතකා ඔහු මුදවාගැනීමේ කටයුතු අඛණ්ඩව සිදුකර ඇත. පසුව, ඔහු වැඩිදුර වෛද්‍ය ප්‍රතිකාර කටයුතු සඳහා බදුල්ල රෝහල වෙත ඇතුළත් කරන ලදී.