නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධාන කළමනාකරණ හා නඩත්තු අධ්‍යක්‍ෂ මණ්ඩලයේ නිල සංචාරයක

ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධාන මේජර් ජෙනරල් වයි.ඒ.බී.එම් යහම්පත් RWP RSP ndu psc 2025 ජූලි මස 22 දින යුද්ධ හමුදා මූලස්ථානයේ ස්ථාපිත කළමනාකරණ හා නඩත්තු අධ්‍යක්‍ෂ මණ්ඩලයේ නිරීක්‍ෂණ සංචාරයක නිරතවිය.

මෙම සංචාරය අතරතුරදී, නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධාන එම අධ්‍යක්‍ෂ මණ්ඩලයේ තාක්‍ෂණික අංශයේ යටතේ යුද්ධ හමුදා මූලස්ථාන පරිශ්‍රය තුළ ක්‍රියාත්මක වන වායුසමීකරණ පද්ධතිය, ගිණි හඳුනාගැනීම සහ ආරක්‍ෂණ පද්ධතිය, විදුලි සෝපාන පද්ධති, වැසි ජලය ගබඩා කර ප්‍රයෝජනයට ගැනීමේ පද්ධතිය සහ අධිසැර/අඩුසැර විදුලි කාමර පද්ධතිය යන පද්ධතීන්හි ක්‍රියාකාරීත්වය සහ නඩත්තුව පිළිබඳව පරික්‍ෂා කරනු ලැබීය.

ඉන් අනතුරුව, එම අධ්‍යක්‍ෂ මණ්ඩලයේ වත්මන් පරිපාලන හා තාක්‍ෂණික ක්‍රියා පටිපාටි පිළිබඳව එම අධ්‍යක්‍ෂ මණ්ඩලයේ ජ්‍යෙෂ්ඨ නිලධාරින් සමඟ සාකච්ඡා කරනු ලැබූ නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධාන මෙහෙයුම් කටයුතු තවදුරටත් කාර්යක්‍ෂම කිරීම සඳහා අවශ්‍ය මඟපෙන්වීම් ද ලබාදෙනු ලැබීය.

එමෙන්ම, මෙම පද්ධති කාර්යක්‍ෂමව නඩත්තු කිරීම සඳහා අධ්‍යක්‍ෂ මණ්ඩලයේ නිලධාරින් සහ සෙසුනිලයන් දක්වන කැපවීම ඇගයීමට ලක්කළ නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධාන එම පද්ධතීන් අඛණ්ඩව අධීක්‍ෂණය කිරීම සහ නඩත්තු කිරීමේ වැදගත්කම පිළිබඳව ද අවධාරණය කළේය.