නාවික හමුදාධිපතිතුමන් යුද්ධ හමුදා මූලස්ථානයේ නිල සංචාරයක

ශ්‍රී ලංකා නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් බී.ඒ.කේ.එස්.පී බානගොඩ RSP, USP, ndc, psc, MMaritimePol, MBA in HRM, PG Dip in HRM, BMS, Dip in Mgt, AFIN, JP (Whole Island) 2025 ජුනි මස 25 දින යුද්ධ හමුදා මූලස්ථානයේදී යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් ලසන්ත රොද්‍රිගෝ RSP ctf-ndu psc IG හමුවිය.

යුද්ධ හමුදා මූලස්ථාන පරිශ්‍රය වෙත පැමිණි නාවික හමුදාධිපතිතුමන් වෙත හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු මුරයේ ගෞරවාචාරය පුදකිරීමෙන් අනතුරුව යුද්ධ හමුදා විධායක ජෙනරාල් විසින් එතුමන්ව උණුසුම් අයුරින් පිළිගන්නා ලදී. පසුව, එම ජ්‍යෙෂ්ඨ නිලධාරි යුද්ධ හමුදා මූලස්ථානයේ විශේෂ පීඨිකාව වෙත කැටුව යනු ලැබූ අතර එහිදී භටපිරිස් විසින් එතුමන් වෙත හමුදා සම්ප්‍රදායානුකූල සම්මාන මුරයේ ගෞරවාචාරය ද පුදකළහ.

ඉන් අනතුරුව, යුද්ධ හමුදාධිපතිතුමන් විසින් සංචාරයේ නිරත නාවික හමුදාධිපතිතුමන් උණුසුම් අයුරින් පිළිගැනීමෙන් අනතුරුව ඔවුන් සමූහ ඡායාරූපයකට ද පෙනීසිටියහ. පසුව, එම ජ්‍යෙෂ්ඨ නිලධාරින් සුහඳ පිළිසඳරක නිරතවෙමින් අන්‍යෝන්‍ය වශයෙන් වැදගත්වන කරුණු පිළිබඳව සාකච්ඡා කළ අතර, ජාතික ආරක්‍ෂාව ශක්තිමත් කිරීමේදී ශ්‍රී ලංකා යුද්ධ හමුදාව සහ නාවික හමුදාව වෙතින් ඉටුකරන වැදගත් කාර්යභාරයන් පිළිබඳව එහිදී ප්‍රධාන වශයෙන් අවධානය යොමුකෙරිණි. හමුදාවන් අතර පවතින සහයෝගීතාවය ප්‍රවර්ධනය කිරීම, ඒකාබද්ධ මෙහෙයුම් සූදානම වැඩිදියුණු කිරීම, උපායමාර්ගික සම්පත් බෙදාගැනීම සහ සමුද්‍රීය හා ගොඩබිම් ආරක්‍ෂක මෙහෙයුම්වල සහයෝගීතාව පුළුල් කිරීම පිළිබඳව ද ඔවුන් අදහස් හුවමාරු කරගත්හ.

මෙම සුහඳ හමුව සමාප්තියේදී සුහදත්වය සනිටුහන් කරමින් සමරු තිළිණ හුවමාරුවක් සිදුකෙරුණු අතර මෙම අවස්ථාව සඳහා ජ්‍යෙෂ්ඨ නිලධාරින් සහ නිලධාරින් පිරිසක් සහභාගි වූහ.