11th August 2025
1992 අගෝස්තු මස 08 වන දින අරාලි තුඩුවේදී එල්ටීටීඊ ත්‍රස්ථවාදීන්ගේ බිම් බෝම්බයකට හසුවී ජීවිතය පරිත්‍යාගය කළ මෙරට යුද්ධ හමුදාවේ ජ්‍යෙෂ්ඨ නායකයෙකු වන ලුතිනන් ජෙනරල් ඩෙන්සිල් කොබ්බෑකඩුව RWP RSP VSV USP rcds psc ඇතුළු වීරොදාර හමුදා රණවිරුවන් අනුස්මරණය කිරීමේ උත්සවයක් 2025 අගෝස්තු මස 08 දින කයිට්ස් හි අරාලි තුඩුවේ ස්ථාපිත රණවිරු ස්මාරකය අභියසදී පවත්වනු ලැබීය.
උත්සව අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ආරක්‍ෂක සේනා ආඥාපති - යාපනය මේජර් ජෙනරල් කේ.ඒ.එන් රසික කුමාර ndc psc සහභාගී විය.
උත්සවයේ කටයුතු ආරම්භ කරමින් ජාතික ගීය ගායනා කල අතර, අනතුරුව ආගමික වතාවත් සිදුකිරීමෙන් පසු අවදිව සිට මුර සෙබළුන් රණවිරු ස්මාරකය තුළ ස්ථානගත කිරීම සිදුකර දිවිපිදු එම විරෝදාර රණවිරුවන් සිහිපත් කරමින් විනාඩි දෙකක නිශ්ශබ්දතාවයක් පැවැත්විය. පසුව ආරක්‍ෂක සේනා ආඥාපති - යාපනය අතුළු එම අවස්ථාවට සහභාගි වූ ජ්‍යෙෂ්ඨ නිලධාරින්, නිලධාරින් සහ සෙසුනිලයන් විසින් දිවිපිදූ සියලුම රණවිරුවන් සිහිපත් කරමින් රණවිරු ස්මාරකය වෙත පුෂ්පෝපහාර පුදකර සිය ගෞරවාචාරයන් පිරිනමන ලදී.
ඉන් අනතුරුව, රණවිරු සැමරුම් උත්සවයේ කටයුතු අවසන් කරමින් හිරු නැගෙනා මොහොතේදිත් හිරු බසිනා මොහොතේදිත් මව්බිම වෙනුවෙන් දිවිපිදු එම රණවිරුවන් සිහිකරමින් වැයෙන මලවුන් සිහිකිරීමේ වාදනය සිදුකෙරිණි.
මෙම අවස්ථාවට උතුරු නාවික ප්‍රදේශය භාර ආඥාපති, ජ්‍යෙෂ්ඨ ත්‍රිවිධ හමුදා නිලධාරින්, නිලධාරින් සහ සෙසුනිලයන් පිරිසක් ද සහභාගිි වූහ.