13th March 2026
ජෙනරල් සර් ජෝන් කොතලාවල ආරක්‍ෂක විශ්ව විද්‍යාලයෙහි කළමනාකරණ, සමාජ විද්‍යා සහ මානව ශාස්ත්‍ර පීඨයේ කළමනාකරණ හා මූල්‍ය අංශය විසින් සංවිධානය කරන ලද Logistics Day 2026 දිනට සමගාමීව, එම විශ්ව විද්‍යාලයෙහි සිසුන් පිරිසක් විසින් 2026 මාර්තු මස 12 වන දින උපකරණ මාස්ටර් ජෙනරාල් ශාඛා සම්මන්ත්‍රණ ශාලාවේදී Logistics Time සඟරාවේ පළකිරීම සඳහා යුද්ධ හමුදාවේ ජ්‍යෙෂ්ඨ භඨකාර්ය සම්පාදන නිලධාරීන් සමඟින් සම්මුඛ සාකච්ඡාවක් පවත්වන ලදී.
යුද්ධ හමුදා උපකරණ මාස්ටර් ජෙනරාල් සහ ශ්‍රී ලංකා යුද්ධ හමුදා යුධෝපකරණ බලකායේ කර්නල් සේනාවිධායක මේජර් ජෙනරල් ඩබ්ලිව්.එම්.එස්.එන් විජේකෝන් ndc AATO ගේ ප්‍රධානත්වයෙන් මෙම සම්මුඛ සාකච්ඡාව පවත්වනු ලැබීය.
මෙම සාකච්ඡාවට යුද්ධ හමුදා මූලස්ථානයේ කළමනාකරණ හා නඩත්තු අධ්‍යක්‍ෂ, ඉංජිනේරු සේවා බලකායේ කර්නල් සේනාවිධායක, යුද්ධ හමුදා භඨකාර්ය සම්පාදන පුහුණු පාසලේ ප්‍රධාන උපදේශක, කර්නල් උපකරණ මාස්ටර් ජෙනරාල්, 61 පාබල සේනාංකයේ කර්නල් භඨකාර්ය සම්පාදන සහ යුද්ධ හමුදා යුධෝපකරණ බලකා රෙජිමේන්තු මූලස්ථානයේ මාණ්ඩලික නිලධාරී 1 යන ජ්‍යෙෂ්ඨ භඨකාර්ය සම්පාදන නිලධාරීන් කිහිප දෙනෙකු ද සහභාගී වූහ.
මෙම සාකච්ඡාවේදී එම ජ්‍යෙෂ්ඨ නිලධාරීන් ‘Resilient Intelligence: AI-Enabled Sustainable Supply Chain’ යන තේමාව යටතේ විශ්ව විද්‍යාල සිසුන් සමඟින් වෘත්තීයමය අදහස් හා අත්දැකීම් හුවමාරු කර ගන්නා ලද අතර, යුද්ධ හමුදා උපකරණ මාස්ටර් ජෙනරාල් විසින් එහිදී යුද්ධ හමුදාවට එක්වන සාමාන්‍ය සිවිල් පුද්ගලයන් සංවිධානාත්මක පුහුණුව, ප්‍රායෝගික අත්දැකීම් සහ තාක්‍ෂණය සමඟ ඒකාබද්ධ සැපයුම් පද්ධති හරහා දක්ෂ භඨ කාර්ය සම්පාදන වෘත්තීයවේදීන් බවට පත්කිරීමේ ක්‍රියාවලිය පිළිබඳවද පැහැදිලි කරන ලදී.
එමෙන්ම, මෙම සාකච්ඡාවේදී යුද්ධ හමුදාවේ භඨ කාර්ය සම්පාදන ඒකකයන්හි කෘතිම බුද්ධිය හා සම්බන්ධිත ඉංජිනේරු කාර්යයන්, අලුත්වැඩියා හා නඩත්තු කටයුතු, වෛද්‍ය පහසුකම්, සලාක පහසුකම්, ප්‍රවාහන පහසුකම් හා යුධෝපකරණ සේවා යන සැපයුම් ක්‍රියාවලීන් ක්ෂේත්‍රයන්හි තිරසාරභාවය සහිත සැපයුම් කළමනාකරණය පිළිබඳව හා නවීන සැපයුම් ජාලවලට බලපාන තාක්‍ෂණික අභියෝග පිළිබඳවද සාකච්ඡා කෙරුණි.