ජාතික ජූඩෝ ශූරතාවලිය - 2025 සාර්ථකව අවසන්

62 වන ජාතික ජූඩෝ ශූරතාවලිය - 2025 කොළඹ, ටොරින්ටන් ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තු ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී 2026 ජනවාරි මස 30 දින සිට පෙබරවාරි මස 01 දින දක්වා පැවැත්විණි.

දිවයින පුරා ක්‍රීඩා සමාජ 65ක් නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 400ක් පමණ කේවල බර පන්ති 17ක්, කණ්ඩායම් ඉසව්වක් සහ විවෘත අංශය ඇතුළුව පිරිමි සහ කාන්තා යන දෙඅංශයෙන්ම බර කාණ්ඩ 21ක් යටතේ තරඟ වැදුණි.

රන් පදක්කම් හයක්, රිදී පදක්කම් තුනක් සහ ලෝකඩ පදක්කම් තුනක් දිනාගනිමින් සමස්ත පිරිමි අංශයේ ශූරතාවය ශ්‍රී ලංකා ගුවන් හමුදාව විසින් ද එහි අනුශූරතාවය ශ්‍රී ලංකා යුද්ධ හමුදාව විසින් ද දිනා ගන්නා ලදී.

රන් පදක්කම් පහක්, රිදී පදක්කම් තුනක් සහ ලෝකඩ පදක්කම් අටක් දිනාගනිමින් සමස්ත කාන්තා අංශයේ ශූරතාව ශ්‍රී ලංකා යුද්ධ හමුදාව විසින් ද එහි අනුශූරතාවය ශ්‍රී ලංකා ගුවන් හමුදාව විසින් ද දිනා ගන්නා ලදී. එමෙන්ම, යුද්ධ හමුදාව විවෘත කාන්තා අංශයේදී රන්, රිදී සහ ලෝකඩ පදක්කම් ලබාගනිමින් එම ඉසව්වේ කැපී පෙනෙන ජයග්‍රහණයක් සනිටුහන් කළේය.

ශූරතාවලියේ දක්‍ෂතම කාන්තා ක්‍රීඩිකාවට හිමි සම්මානය ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ කෝප්‍රල් ඩබ්ලිව්.එල්.ඒ.එච්. ඉමේෂා විසින් ද ශූරතාවලියේ හොඳම විසිකිරීමට හිමි සම්මානය ලාන්ස් කෝප්‍රල් එච්.ජී.එස්.එල්.එම්. හතුරුසිංහ විසින් ද හිමිකර ගන්නා ලදී.

මෙම අවස්ථාවට යුද්ධ හමුදා උපරකණ මාස්ටර් ජෙනරාල්, ශ්‍රී ලංකා යුද්ධ හමුදා යුධෝපකරණ බලකායේ බලකාධිපති සහ යුද්ධ හමුදා ජූඩෝ කමිටුවේ සභාපති මේජර් ජෙනරල් ඩබ්ලිව්.එම්.එස්.එන්. විජේකෝන් ndc AATO සහභාගී විය.