ඉන්දු-පැසිෆික් හමුදා ප්‍රධානීන්ගේ සමුළුව – 2025, සඳහා යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධාන සහභාගි වෙයි

14 වන ඉන්දු-පැසිෆික් හමුදා ප්‍රධානීන්ගේ සමුළුව, 49 වන ඉන්දු-පැසිෆික් හමුදා කළමනාකරණ සම්මන්ත්‍රණය සහ 11 වන ජ්‍යෙෂ්ඨ නායකයින්ගේ සංසදය, 2025 සැප්තැම්බර් මස 23 දින සිට 26 දින දක්වා මැලේසියාවේ ක්වාලාලම්පූර් හිදී පැවැත්විණි. මෙවර එහි සම සත්කාරකත්වය මැලේසියානු හමුදාවට සහ එක්සත් ජනපද හමුදාවට හිමිවිය. 14 වන ඉන්දු-පැසිෆික් හමුදා ප්‍රධානීන්ගේ සමුළුව සඳහා යුද්ධ හමුදාධිපතිතුමන්ව නියෝජනය කරමින් යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධාන මේජර් ජෙනරල් ඩී.කේ.එස්.කේ දොලගේ USP nps psc ගේ ප්‍රධානත්වයෙන් යුතුව බ්‍රිගේඩියර් ටී එම්.එස්.ජේ තෙන්නකෝන් RSP සහ ලුතිනන් කර්නල් එම්.ඒ.කේ.ආර්.කේ අබේවික්‍රමසිංහ RWP RSP psc යන ජ්‍යෙෂ්ඨ නිලධාරින් සහභාගි වූහ.

මෙම වසරේ සම්මන්ත්‍රණය ‘Forging Synergy: Transforming Multinational Land Power Networks through Open Fashion Contact’ යන තේමාව යටතේ නිදහස් හා විවෘත ඉන්දු-පැසිෆික් කලාපයක් සඳහා වූ සියළු කලාපීය රාජ්‍යයන්හි කැපවීමෙහි ඇති වැදගත්කම අවධාරණය කරනු ලැබීය. එසේම, මෙම සම්මන්ත්‍රණය මගින් කලාපය තුළ පවතින පොදු ආරක්‍ෂක අභියෝගවලට මුහුණ දෙන මෙම හමුදාවන්ට එම තත්ත්වයන් පිළිබඳව සාකච්ඡා කිරීම මගින් සාමූහික අවබෝධයක් ලබාගැනීමට මෙන්ම ඔවුන් අතර සහයෝගීතාවය වර්ධනය කර ගැනීමට අවස්ථාව හිමි විය. මෙම සම්මන්ත්‍රණය සඳහා ඉන්දු-පැසිෆික් කලාපයේ හමුදා ප්‍රධානීන් 12 දෙනෙකු සහ ජ්‍යෙෂ්ඨ හමුදා නායකයින් 13 දෙනෙකු ඇතුළුව රටවල් 25 කින් 190 කට වැඩි පිරිසක් සහභාගි වූහ.

මෙම සම්මන්ත්‍රණය අතරතුර, යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධාන විසින් ඉන්දු-පැසිෆික් කලාපයේ හමුදා ප්‍රධානීන් සහ ජ්‍යෙෂ්ඨ හමුදා නායකයින් කිහිප දෙනෙකු සමඟින් හමුදා සහයෝගීතාවය වැඩි දියුණු කරගැනීම සඳහා මෙන්ම රාජ්‍ය තාන්ත්‍රික සබඳතා ශක්තිමත් කිරීමේ අරමුණින් ද්විපාර්ශ්වික සාකච්ඡා පැවැත්වූහ.