ගංවතුර සහ නායයෑම්වලින් පීඩාවට පත් ප්‍රදේශ නිරීක්ෂණය කිරීම සඳහා යුද්ධ හමුදාධිපතිතුමන් මහියංගනයට

අධික වර්ෂාපතනය හේතුවෙන් ඇතිවූ ගංවතුර සහ නායයෑම් තත්ත්වයන්ගෙන් පීඩාවට පත් ජනතාවගේ තත්ත්වය නිරීක්ෂණය කිරීම සඳහා යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් ලසන්ත රොද්‍රිගෝ RSP ctf-ndu psc IG 2025 දෙසැම්බර් මස 06 දින මහියංගණය ප්‍රදේශයේ සංචාරයක නිරත විය.

යුද්ධ හමුදාධිපතිතුමන් 53 පාබල සේනාංක මූලස්ථානයේ සිට සිය සංචාරය ආරම්භ කළ අතර, එහිදී සේනාංකාධිපති මේජර් ජෙනරල් ජී.ඒ.ටී. ගොඩවත්තේ RWP RSP විසින් යුද්ධ හමුදාධිපතිතුමන් වෙත සිදුකරනු ලබන ආපදා මෙහෙයුම් පිළිබඳ කෙටි පැහැදිලි කිරීමක් සිදු කරන ලදී.

අනතුරුව, පැවති අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් හානියට පත්වූ ඇලහැර පුරාණ අමුණෙහි යුද්ධ හමුදා භට පිරිස් විසින් සිදු කරනු ලබන ප්‍රතිසංස්කරණ කටයුතු වල වත්මන් තත්ත්වය සොයා බැලීම සඳහා යුද්ධ හමුදාධිපතිතුමන් එම ප්‍රදේශයේ සංචාරයක නිරත විය.

පසුව, 53 පාබල සේනාංකය විසින් ස්ථාපනය කරන ලද ආපදා මෙහෙයුම් ක්‍රියාන්විත මූලස්ථානය වෙත සංචාරය කරන ලද යුද්ධ හමුදාධිපතිතුමන් වෙත එහි වත්මන් මෙහෙයුම් තත්ත්වය පිළිබඳ බ්‍රිගේඩියර් බී.ඒ.ඩි.එන්.කේ. බුලත්සිංහල RWP RSP USP විසින් පැහැදිලි කිරීමක් සිදු කරන ලදී.

ඉන්පසුව, යුද්ධ හමුදාධිපතිතුමන් ඉන්දියානු යුද්ධ හමුදා භට පිරිස් විසින් මහියංගණ ප්‍රදේශයේ ක්‍රියාත්මක ක්ෂේත්‍ර රෝහල නිරීක්ෂණය කළ අතර, එහිදී රෝහල් අණදෙන නිලධාරි විසින් පීඩාවට පත් සිවිල් ජනතාවට ලබා දෙනු ලබන වෛද්‍ය ප්‍රතිකාර පිළිබඳව යුද්ධ හමුදාධිපතිතුමන්ව දැනුවත් කරන ලදී. අනතුරුව, යුද්ධ හමුදාධිපතිතුමන් නායයෑමෙන් හානි වූ යහන්ගල ප්‍රදේශයේ නිරීක්ෂණ සංචාරයක නිරත වූ අතර, පසුව සුරක්ෂා සහන සේවා රැදවුම් මධ්‍යස්ථානය වෙත පැමිණි යුද්ධ හමුදාධිපතිතුමන් විසින් අවතැන් වූ පවුල් සඳහා අත්‍යවශ්‍ය සහන ද්‍රව්‍ය බෙදා දෙන ලදී.

මහියංගනයට ප්‍රදේශයේ සිදු කළ සංචාරයෙන් අනතුරුව, යුද්ධ හමුදාධිපතිතුමන් නායයෑමෙන් පීඩාවට පත් තවත් ස්ථානයන් නිරීක්ෂණය කිරීම සඳහා උඩුදුම්බර ප්‍රදේශයට සංචාරය කරන ලදී. යුද්ධ හමුදාධිපතිතුමන් විසින් සිය සංචාරය නිමා කරමින් 5 බලඇණිය ශ්‍රී ලංකා පාබල හමුදා කඳවුරේදී ආපදා මෙහෙයුම් සිදු කරනු ලබන 1 බලකායේ භට පිරිස් සමඟ අදහස් හුවමාරු කරගනිමින් ඔවුන්ගේ අඛණ්ඩ දායකත්වය අගය කරන ලදී.