එක්සත් ජනපද තානාපති කාර්යාලය වෙතින් යුද්ධ හමුදා ඉංජිනේරු පුහුණු පාසල වෙත පුපුරණ ද්‍රව්‍ය නිෂ්ක්‍රීය කිරීමේ පුහුණු උපකරණ කට්ටල පරිත්‍යාගයක්

ද්විපාර්ශ්වික ආරක්‍ෂක සහයෝගීතාවය තවදුරටත් වැඩිදියුණු කරමින් ශ්‍රී ලංකාවේ එක්සත් ජනපද තානාපති කාර්යාලය වෙතින් 2025 ජූනි මස 30 දින ශ්‍රී ලංකා යුද්ධ හමුදා ඉංජිනේරු පුහුණු පාසල වෙත පුපුරණ ද්‍රව්‍ය නිෂ්ක්‍රීය කිරීමේ පුහුණු උපකරණ කට්ටලයක් පරිත්‍යාග කරනු ලැබීය. ඇඹිලිපිටිය, ශ්‍රී ලංකා යුද්ධ හමුදා ඉංජිනේරු පුහුණු පාසල් පරිශ්‍රයේ පැවති මෙම උත්සවය එක්සත් ජනපදය සහ ශ්‍රී ලංකාව අතර පවතින ද්වීපාර්ශ්වික ආරක්‍ෂක සහ තාක්‍ෂණික සහයෝගීතාවයේ වැදගත් සන්ධිස්ථානයක් සනිටුහන් කරනු ලබන අතර, කලාපීය ආරක්‍ෂාව සහ යුද්ධ හමුදා වෘත්තීයභාවය ඒ තුළින් තවදුරටත් තහවුරු කරයි.

ශ්‍රී ලංකා යුද්ධ හමුදා ඉංජිනේරු පුහුණු පාසල වෙතින් සිදුකළ ඉල්ලීමකට ප්‍රතිචාර දක්වමින් මෙම පරිත්‍යාගය එක්සත් ජනපදය වෙතින් සිදුකරනු ලැබූ අතර පුපුරණ ද්‍රව්‍ය නිශ්ක්‍රීය කිරීමේ විෂය මාලාවේ ක්‍රියාන්විත සූදානම වැඩිදියුණු කිරීම සඳහා නවීන පුහුණු උපකරණ භාවිතා කිරීමේ හැකියාව මේ තුළින් හිමිවේ. මෙම පුපුරණ ද්‍රව්‍ය නිෂ්ක්‍රීය කිරීමේ පුහුණු උපකරණ කට්ටලය ඵලදායීව බෙදාදීම සහතික කරමින්, ශ්‍රී ලංකා යුද්ධ හමුදා ඉංජිනේරු සේනාංකය සහ ප්‍රධාන ක්ෂේත්‍ර ඉංජිනේරු කාර්යාලය සමඟ ඒකාබද්ධව උපදේශනයන් ද පැවැත්වීය.

දෙරට අතර පවතින ආරක්‍ෂක සහයෝගීතාවයේ අඛණ්ඩ පැවැත්ම තවදුරටත් තහවුරු කරමින් මෙම අවස්ථාව සඳහා එක්සත් ජනපද ජ්‍යෙෂ්ඨ හමුදා නිලධාරින් සිව්දෙනෙකු සහභාගි වූහ. මෙම උත්සවය සඳහා සහභාගි වූ එක්සත් ජනපද නියෝජිත පිරිස ශ්‍රී ලංකා යුද්ධ හමුදා ඉංජිනේරු පුහුණු පාසලේ සේනාවිධායක කර්නල් ජේ.ඒ.සී.එස් ජාගොඩ psc ප්‍රමුඛ එම පුහුණු පාසලේ නිලධාරින් ඇතුළු කාර්ය මණ්ඩලය විසින් පිළිගන්නා ලදී.

එසේම මෙම වැඩසටහනට සමගාමීව එක්සත් ජනපද දූත පිරිස, එක්සත් ජනපද හමුදා පැසිෆික් විධානය සමඟ සහයෝගයෙන් යුතුව 2025 ජූලි මස 21 සිට 25 දින දක්වා ශ්‍රී ලංකා යුද්ධ හමුදා ඉංජිනේරු පුහුණු පාසලේදී උපායමාර්ගික සංග්‍රාමික පුහුණු පාඨමාලාව ප්‍රථම වරට සාර්ථකව පවත්වන ලදී.

සංග්‍රාමික අවස්ථාවන්හිදී ශ්‍රී ලංකා යුද්ධ හමුදා ඉංජිනේරු බලකා සාමාජිකයන්ගේ වෛද්‍ය සූදානම සහ පැවැත්ම වැඩිදියුණු කිරීම සඳහා වන තවත් ප්‍රධාන පියවරක් වශයෙන් මෙම පාඨමාලාව පැවැත්විණි.

සැරයන් කයිල් මුවර්, සැරයන් ටේලර් මයිකල් සහ සාමාන්‍ය සෙබළ මාර්කෝ රොචා ඇතුළු පළපුරුදු උපදේශකයන් පිරිසක් විසින් පවත්වනු ලැබූ මෙම පාඨමාලාවේදී ක්‍රියාන්විතයේදී ජීවිතාරක්‍ෂක ශිල්පීය ක්‍රම පිළිබඳ අත්‍යවශ්‍ය ප්‍රායෝගික පුහුණුවක් ලබාදෙන ලදී.

ඒ අනුව, පුපුරණ ද්‍රව්‍ය නිෂ්ක්‍රීය කිරීමේ විෂය මාලාවේ පළමු අදියර යටතේ පවත්වනු ලැබූ පුහුණු වැඩසටහනේ මූලික අංගයක් ලෙස, උපායමාර්ගික සංග්‍රාමික පුහුණු පාඨමාලාව තුළින් අධිපීඩන ක්‍රියාන්විත පරිසරයන් තුළදී ක්‍ෂණික වෛද්‍ය ප්‍රතිකාර ලබාදීම සඳහා අවශ්‍ය කුසලතාවයන් ඉංජිනේරු බලකා සාමාජිකයන් වෙත ලබාදෙනු ලැබීය.

මෙම විශේෂිත පුපුරණ ද්‍රව්‍ය නිශ්ක්‍රීය කිරීමේ පුහුණු උපකරණ පරිත්‍යාග කිරීම සහ උපායමාර්ගික සංග්‍රාමික පුහුණු පාඨමාලාව සාර්ථකව පැවැත්වීම තුළින් ශ්‍රී ලංකාව සහ ඇමරිකා එක්සත් ජනපදය අතර පවතින ආරක්‍ෂක සබඳතා තවදුරටත් ශක්තිමත් විය.