දකුණු සුඩානයේ ‘SRIMED’ දෙවන මට්ටමේ රෝහලෙහි රාජකාරි සඳහා 12 වන ශ්‍රී ලංකා වෛද්‍ය කණ්ඩායම දිවයිනෙන් පිටව යයි

දකුණු සුඩානයේ ක්‍රියාත්මක ශ්‍රී ලංකා යුද්ධ හමුදා වෛද්‍ය බලකාය විසින් පවත්වාගෙන යනු ලබන ‘SRIMED’ දෙවන මට්ටමේ රෝහලෙහි සාමසාධක රාජකාරි කටයුතු ආරම්භ කිරීම සඳහා 12 වන ශ්‍රී ලංකා යුද්ධ හමුදා වෛද්‍ය කණ්ඩායම 2026 මාර්තු මස 13 වන දින දිවයිනෙන් පිටව යන ලදී.

ජාත්‍යන්තර සාම සාධක රාජකාරි සහ මානුෂීය සහාය ලබාදීම සඳහා මෙරටින් පිටත්ව යන 12 වන ශ්‍රී ලංකා යුද්ධ හමුදා වෛද්‍ය කණ්ඩායමේ අණදෙන නිලධාරි ලෙස ශ්‍රී ලංකා යුද්ධ හමුදා වෛද්‍ය බලකායේ කර්නල් ඩී.ආර්.එස්.ඒ. ජයමාන්න RSP USP කටයුතු කරන අතර, දෙවන අණදෙන නිලධාරි වශයෙන් මේජර් එච්.පී.ඩී. ගල්ගොඩැල්ල USP කටයුතු කරනු ලබයි. මෙම වෛද්‍ය කණ්ඩායම, යුද්ධ හමුදා නිලධාරින් 13 දෙනෙකුගෙන් සහ සෙසුනිලයන් 50 දෙනෙකුගෙන් සමන්විත වේ.

මෙම වෛද්‍ය කණ්ඩායම දිවයිනෙන් පිටත්ව යාමට ප්‍රථම 2026 පෙබරවාරි මස 10 දින වේරහැර පිහිටි ශ්‍රී ලංකා යුද්ධ හමුදා වෛද්‍ය බලකා රෙජිමේන්තු මධ්‍යස්ථාන සරඹ භූමියේදී යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් ලසන්ත රොද්‍රිගෝ RSP ctf-ndu psc IG වෙත හමුදා සම්ප්‍රදායානුකූලව ගෞරවාචාරය පිරිනැමීය.

දිවයිනෙන් පිටත්ව යන එම කණ්ඩායමට සහයෝගය සහ දිරිගැන්වීම ලබාදීමට 1 වන බලකායේ බලකාධිපති සහ යුද්ධ හමුදා වෛද්‍ය බලකායේ බලකාධිපති මේජර් ජෙනරල් පී.එස්. සුභාත් සංජීව RSP nps psc, විදේශ මෙහෙයුම් අධ්‍යක්‍ෂ ජෙනරාල් මේජර් ජෙනරල් එස්.පී. වික්‍රමසේකර RWP RSP USP psc, ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන්, සෙසුනිලයන් සහ ඔවුන්ගේ පවුලේ සාමාජිකයින් ගුවන් තොටුපළ වෙත පැමිණ සිටියහ.