දකුණු සුඩානයේ සාමසාධක රාජකාරි සඳහා පිටත්ව යන 12 වන ශ්‍රී ලංකා යුද්ධ හමුදා වෛද්‍ය බලකා කණ්ඩායම යුද්ධ හමුදාධිපතිතුමන් වෙත සිය ගෞරවාචාරය පුදකරයි

දකුණු සුඩානයේ එක්සත් ජාතීන්ගේ සාමසාධක රාජකාරි යටතේ SRIMED හි දෙවන මට්ටමේ රෝහලේ රාජකාරි සඳහා 2026 පෙබරවාරි මස 20 වන දින පිටත්ව යාමට නියමිත 12 වන ශ්‍රී ලංකා යුද්ධ හමුදා වෛද්‍ය බලකා කණ්ඩායම පිටත්ව යාමට පෙර 2026 පෙබරවාරි මස 10 වන දින වේරහැර, ශ්‍රී ලංකා වෛද්‍ය බලකා රෙජිමේන්තු මධ්‍යස්ථාන ක්‍රීඩාංගණයේදී යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් ලසන්ත රොද්‍රිගෝ RSP ctf-ndu psc IG වෙත හමුදා සම්ප්‍රදායානුකූල ගෞරවාචාර පිරිනැමීය.

පිටත්ව යනු ලබන කණ්ඩායමේ අණදෙන නිලධාරි වශයෙන් කර්නල් ඩී.ආර්.එස්.ඒ. ජයමාන්න RSP USP සහ දෙවන අණදෙන නිලධාරි වශයෙන් මේජර් එච්.පී.ඩී. ගල්ගොඩැල්ල USP කටයුතු කරයි. මෙම බලඇණියට නිලධාරීන් 12 දෙනෙකු සහ සෙසුනිලයන් 50 දෙනෙකු ඇතුළුව හමුදා සාමාජිකයන් 62 දෙනෙකු ඇතුළත් වේ.

මෙම අවස්ථාවට යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධාන මේජර් ජෙනරල් ඩී.කේ.එස්.කේ. දොලගේ USP psc, යුද්ධ හමුදා නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධාන මේජර් ජෙනරල් වයි.ඒ.බී.එම්. යහම්පත් RWP RSP ndu psc, ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනාවේ සේනාවිධායක මේජර් ජෙනරල් කේ.වී.එන්.පී. ප්‍රේමරත්න RSP USP ndc psc, ශ්‍රී ලංකා යුද්ධ හමුදා වෛද්‍ය බලකායේ කර්නල් සේනාවිධායක මේජර් ජෙනරල් පී.එස්. සුභාත් සංජීව RSP nps psc, ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහ සෙසුනිලයන් සහභාගී වූහ.